
මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීම සංස්කෘතික වෙනසක් සඳහා – විජිත
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත්තේ රට තුළ නව දේශපාලන සංස්කෘතියක් ස්ථාපිත කිරීමේ අරමුණින් බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කරයි.
අද (17) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ, මෙම තීරණයෙන් ආර්ථික වශයෙන් ලැබෙන වාසියට වඩා වැදගත් වන්නේ දේශපාලන ක්ෂේත්‍රයේ මූලිකම වෙනසක් ඇති කිරීම බවයි.
මන්ත්‍රී ධුරය මහජන සේවයක් ලෙස සලකා බලන නව ආකල්පයක් ස්ථාපිත කිරීම මෙහි ප්‍රධාන අරමුණ බවත්, එය ආර්ථික ප්‍රතිලාභ හෝ පුද්ගලික වාසි ලබාගැනීමේ මාර්ගයක් ලෙස නොපෙනෙන සංස්කෘතියක් ගොඩනැගීම අත්‍යවශ්‍ය බවත් ඔහු අවධාරණය කළේය.
එමෙන්ම, මෙම පියවර කිසිදු පාර්ශවයකට පලිගැනීමක් හෝ හිටපු මන්ත්‍රීවරුන්ට අසාධාරණයක් කිරීමක් සඳහා නොවන බව ද අමාත්‍යවරයා පැහැදිලි කළේය. විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ තීරණය ක්‍රියාත්මක වුවහොත් එය වත්මන් මන්ත්‍රීවරුන්ට ද සම ලෙස බලපාන බවත්, සියලුදෙනාටම එකසේ අදාළ වන නීතිමය ක්‍රියාමාර්ගයක් බවත් සඳහන් කළේය.
ජනතාව දිගු කලක් අපේක්ෂා කළ දේශපාලන සංස්කෘතික වෙනසක් ඉටු කිරීම රජයේ වගකීමක් ලෙස සලකා මෙම පනත් කෙටුම්පත ගෙන ආ බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.



