
ලංකා – ජපාන ආර්ථික සහයෝගීතාව නව අදියරකට
ශ්‍රී ලංකාව සහ ජපානය අතර ආර්ථික සබඳතා ශක්තිමත් කරමින් නව අදියරකට ගෙන යාම අරමුණු කරගත් ආර්ථික ප්‍රතිපත්ති සංවාදය පිළිබඳ සහයෝගීතා ගිවිසුමක් (Memorandum of Cooperation – MoC) අත්සන් කර තිබේ.
“ශ්‍රී ලංකා – ජපාන අන්තර් රාජ්‍ය ආර්ථික ප්‍රතිපත්ති සංවාදය” ඊයේ (16) දින මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වුණු අතර, එම අවස්ථාවේදී දෙරටේ අදාළ අමාත්‍යාංශ නියෝජිතයන් මෙම ගිවිසුමට අත්සන් තබා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
ශ්‍රී ලංකා රජය වෙනුවෙන් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කේ.ඒ. විමලෙන්තිරරාජා මහතා සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ වැඩබලන අතිරේක ලේකම් (ද්විපාර්ශ්වික ආර්ථික කටයුතු) දර්ශන එම්. පෙරේරා මහතා ගිවිසුමට අත්සන් තැබූහ.
ජපාන රජය වෙනුවෙන් Japan Ministry of Economy, Trade and Industry (METI) හි ජාත්‍යන්තර කටයුතු පිළිබඳ උප අමාත්‍ය මත්සුඕ තකෙහිකෝ මහතා සහ Japan Ministry of Foreign Affairs හි නිරිතදිග ආසියානු අංශ අධ්යක්ෂ මුරෝතානි මසකත්සු මහතා අත්සන් තැබූ බවද සඳහන් වේ.
මෙම ප්‍රතිපත්ති සංවාදයේදී දෙරට අතර ආර්ථික සබඳතා වර්ධනය කිරීම සඳහා සකස් කරන ලද මාර්ග සිතියම (Roadmap) පිළිබඳ විස්තරාත්මක සාකච්ඡාවක් පැවැත්විණි. ශ්‍රී ලංකාවේ විදේශ ආයෝජන ප්‍රතිපත්ති, සෘජු විදේශ ආයෝජන (FDI) ආකර්ෂණය කර ගැනීම සඳහා පවතින අවස්ථා සහ ප්‍රායෝගික ක්‍රියාමාර්ග පිළිබඳවද ඉදිරිපත් කිරීම් සිදු විය.
එමෙන්ම, කාර්මික කොරිඩෝවක් (Industrial Corridor) පිහිටුවීම සඳහා සකස් කරන ලද මාර්ග සිතියම සහ ශ්‍රී ලංකාවේ අපනයන ධාරිතාව පිළිබඳ සමීක්ෂණ වාර්තාවද මෙම අවස්ථාවේදී ඉදිරිපත් කෙරුණි.
ජපන් ව්‍යාපාරික වටපිටාව සම්බන්ධයෙන් Japan External Trade Organization (JETRO) විසින් වාර්තාවක් ඉදිරිපත් කර ඇති අතර, Itochu Corporation සහ Mitsui & Co. වැනි ප්රමුඛ ජපන් සමාගම් තම ව්‍යාපාරික අත්දැකීම් සහ ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා පිළිබඳ අදහස් හුවමාරු කරගෙන තිබේ.
මෙම අවබෝධතා ගිවිසුම සහ අන්තර් රාජ්‍ය ආර්ථික ප්‍රතිපත්ති සංවාදය මගින් ශ්‍රී ලංකාව සහ ජපානය අතර දීර්ඝකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් වෙමින්, ආර්ථික සහයෝගීතාව නව යුගයකට පිවිසෙනු ඇතැයි දෙරටේ නියෝජිතයෝ විශ්වාසය පළ කළහ.



