ප්‍රධාන පුවත්

ආඳාදොළ ප්‍රදේශයේ අණ නොතැකු ලොරි රථයකට වෙඩි

අම්බලන්ගොඩ පොලිස් වසමට අයත් ආඳාදොළ ප්‍රදේශයේදී පොලිස් අණ නොතකා ධාවනය කළ සැකකටයුතු ලොරි රථයකට අද (09) පොලීසිය වෙඩි තබා ඇති බව වාර්තා වේ.

 

මෙම ලොරි රථය අම්බලන්ගොඩ දෙසට ගමන් කරමින් සිට ඇති අතර ලොරි රථයක් පරීක්ෂා කිරීම සඳහා පොලිස් නිලධාරීන් විසින් නවත්වන ලෙස සංඥා කළ ද, එම අණ නොතකා ලොරි රථය ඉදිරියට ධාවනය කර ඇති බව පොලීසිය සඳහන් කළේය.

ඊට පසු පොලිස් නිලධාරීන් විසින් ලොරි රථය පසුපස හඹා ගොස් නවත්වීමට උත්සාහ කළ අතර, එම අවස්ථාවේ දී ද රථය පලා යාම හේතුවෙන් අවසානයේ වෙඩි තැබීමට සිදු වූ බව පොලීසිය පවසයි.

ලොරි රථය පරීක්ෂා කිරීමේදී එහි එළ ගවයින් 10 දෙනෙකු සහ මී ගවයින් 04 දෙනෙකු සිට ඇති අතර, එම ගවයින් අතරින් එක් එළ ගවයකුගේ ගෙල කපා ඝාතනය කර තිබීමද අනාවරණය වී ඇත.

එමෙන්ම ලොරි රථයේ සිටි සැකකරුවන් දෙදෙනෙකු සන්තකයේ අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 5,200ක් තිබී සොයාගත් බවත්, එම සැකකරුවන් ලොරි රථය සමඟ අත්අඩංගුවට ගත් බවත් පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 42 සහ 46 වයස්වල පසුවන අකුරැස්ස හා බේරුවල ප්‍රදේශවල පදිංචිකරුවන් බව හෙළිවී ඇත.

කෙසේවෙතත්, ලොරි රථයේ රියදුරු සහ තවත් එක් සැකකරුවෙකු පලාගොස් ඇති අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා අම්බලන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතී.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button