
අපනයන සංවර්ධන මණ්ඩලයෙන් නව ඉලක්කයක්
පසුගියදා ශ්‍රී ලංකාවේ තේ හා පොල් අංශවල නව සහ අනාගත අපනයනකරුවන් ඉලක්ක කරගනිමින් අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් එහි ප්‍රධාන කාර්යාලයේදී ජාලකරණ වැඩසටහනක් පැවැත්විය.
මෙම වැඩසටහනේදී Wichy Plantation (Pvt) Ltd හි Cluster විධායක අධ්යක්ෂ ඉන්දික පෙරේරා මහතා, “අභියෝගාත්මක වෙළඳපොලවලට පිවිසීම සහ එහි සාර්ථක වීම” යන මාතෘකාව යටතේ තම කර්මාන්ත අත්දැකීම් සහ සැබෑ උදාහරණ සහභාගිවන්නන් සමඟ බෙදා ගත්තේය.
පොල් සංවර්ධන අධිකාරියේ වෙළඳපොළ සංවර්ධන හා පර්යේෂණ අංශයේ පර්යේෂණ නිලධාරී චතුරංග වික්‍රමරත්න මහතා විසින්, පොල් අපනයනකරුවන් ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය, අවශ්‍යතා සහ නියාමන අනුකූලතාවය පිළිබඳව විස්තරාත්මක මගපෙන්වීමක් ලබා දුන්නේය.
එසේම, අක්බර් බ්‍රදර්ස් (Pvt) Ltd හි ප්‍රධාන කළමනාකරු සහ Senior Tea Taster (තේ) ලෙස කටයුතු කරන ඒඩ්‍රියන් ගේබ්‍රියල් මහතා, විදේශීය ගැනුම්කරුවන් සමඟ දිගුකාලීන සබඳතා ගොඩනැගීම සහ පවත්වාගෙන යාම පිළිබඳ ප්‍රායෝගික උපාය මාර්ග සහ අත්දැකීම් ඉදිරිපත් කළේය.
ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ ප්‍රවර්ධන අංශයේ සහකාර අධ්යක්ෂ තිෂාන් ද සිල්වා මහතා විසින්, නැගී එන ජාත්‍යන්තර වෙළඳපොලවල් සහ “ලංකා තේ” සන්නාමය උපයෝගී කර ගැනීමේ වැදගත්කම පිළිබඳව කරුණු ඉස්මතු කළේය.
තවද, Inextricable Group UK හි ශ්‍රී ලංකා අධ්යක්ෂ, SLIM හි හිටපු සභාපති, ව්‍යාපාර හා අලෙවිකරණ උපදේශක සහ මොරටුව විශ්වවිද්‍යාලයේ ආරාධිත කථිකාචාර්ය සුරංජිත් ස්වාරිස් මහතා විසින්, තරඟකාරී ගෝලීය වෙළඳපොලවල වෙළඳ නාමය වෙනස් කිරීම සහ වෙළඳපොළ වෙනස්කරණ උපාය මාර්ග පිළිබඳ ඉදිරිපත් කිරීමක් සිදු කරන ලදී.
මෙම වැඩසටහන මගින් නැගී එන අපනයනකරුවන්ට කර්මාන්තයේ ප්‍රධාන පාර්ශවකරුවන් සමඟ සම්බන්ධ වීමට, වෙළඳපොළ පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා ගැනීමට සහ ශ්‍රී ලංකාවේ ප්‍රධාන කෘෂිකාර්මික අපනයන අංශ දෙකක් වන තේ හා පොල් අංශවල නව අපනයන අවස්ථා ගවේෂණය කිරීමට අවස්ථාව හිමි විය.
මෙම ජාලකරණ සැසිය සඳහා සුළු හා මධ්‍ය පරිමාණ අපනයනකරුවන් සිය දෙනෙක් පමණ සහභාගී වූ අතර, වැඩසටහන සංවිධානය කරනු ලැබුවේ EDB හි වෙළඳ තොරතුරු සහ වෙළඳ පහසුකම් අංශය විසිනි.



