
ඊයේ දිනයේ බීමත් රියදුරන් 422ක් අත්අඩංගුවට
ශ්‍රී ලංකා පොලීසිය සඳහන් කරන්නේ, දෛනික සෝදිසි මෙහෙයුම්වලට අනුව ඊයේ (06) දිනයේදී පුද්ගලයින් 27,430 දෙනෙකු පරීක්ෂාවට ලක් කර ඇති බවයි.
පොලීසිය විසින් නිකුත් කළ නිවේදනයකට අනුව, එම මෙහෙයුම් හරහා සැකය මත පුද්ගලයින් 524 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.
එමෙන්ම අපරාධවලට සෘජුව සම්බන්ධ බව හඳුනාගත් පුද්ගලයින් 14 දෙනෙකු ද පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන් වේ.
මෙම සෝදිසි මෙහෙයුම්වලදී වරෙන්තුකරුවන් 309 දෙනෙකු සහ විවෘත වරෙන්තුකරුවන් 156 දෙනෙකු ද අත්අඩංගුවට පත්ව තිබේ.
ඒ අතර බීමත් රියදුරන් 422 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය කිරීම සම්බන්ධයෙන් රියදුරන් 79 දෙනෙකු ද පොලිස් භාරයට ගෙන ඇත.
තවද, වෙනත් රථවාහන නීති උල්ලංඝන සම්බන්ධයෙන් පුද්ගලයින් 4,826 දෙනෙකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටද පොලීසිය පියවර ගෙන ඇති බව එම නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් කරයි.



