ප්‍රධාන පුවත්

ඩොලර් මිලියන 450ක ඉන්දීය ආධාර: ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය කෙරේ

ඩොලර් මිලියන 450ක ඉන්දීය ආධාර යටතේ ක්‍රියාත්මක ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබඳ විශේෂ සමාලෝචන සාකච්ඡාවක් පවත්වා තිබේ.

ඩොලර් මිලියන 450ක ඉන්දීය ආධාර යටතේ දුම්රිය මාර්ග, පාලම් සහ නිවාස ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනම් කිරීම පිළිබඳව අවධානය

‘දිට්වා’ සුළි කුණාටුවෙන් පසුව ශ්‍රී ලංකාවේ පුනරුත්ථාපන හා ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ඉන්දියාව විසින් ප්‍රකාශයට පත් කරන ලද අමෙරිකානු ඩොලර් මිලියන 450ක ප්‍රදාන ආධාර පැකේජය යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘතිවල වත්මන් තත්ත්වය මෙහිදී සමාලෝචනය කර ඇත.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා අතර මෙම සාකච්ඡාව පැවැත්වී තිබේ.

එහිදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු වී ඇත්තේ ප්‍රවාහන යටිතල පහසුකම් යළි ගොඩනැගීම, නිවාස ප්‍රතිසංස්කරණය සහ අනෙකුත් අත්‍යවශ්‍ය ව්‍යාපෘති කඩිනම් කිරීම සම්බන්ධයෙනි.

විශේෂයෙන්ම හානි වූ දුම්රිය මාර්ග පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීම මෙන්ම තාවකාලික සහ ස්ථිර පාලම් ඉදිකිරීම ඇතුළු ව්‍යාපෘති කිහිපයක කටයුතු වේගයෙන් ඉදිරියට යාම පිළිබඳව දෙපාර්ශ්වය සිය සතුට පළ කර තිබේ.

එමෙන්ම නිවාස ප්‍රතිසංස්කරණ ආධාර වැඩසටහන යටතේ පූර්ණ හා අර්ධ වශයෙන් හානි වූ නිවාස නැවත ඉදිකිරීමේ කටයුතු තවදුරටත් කඩිනම් කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ද සාකච්ඡා කර ඇත.

මීට අමතරව ඉන්දීය ණය පහසුකම් යටතේ වාහන මිලදී ගැනීම සහ පශු සම්පත් සැපයීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය වේගවත් කිරීම පිළිබඳව ද දෙපාර්ශ්වය අදහස් හුවමාරු කරගෙන ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button