ප්‍රධාන පුවත්

අයවැයට විරෝධය: රාජ්‍ය සේවක වෘත්තීය සමිති අද ජාතික විරෝධතා දිනයක් ප්‍රකාශයට පත් කරයි

අයවැයට විරෝධය පළ කරමින් වෘත්තීය සමිති රැසක් අද (23) දිනය ජාතික විරෝධතා දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

අයවැයට විරෝධය පා රාජ්‍ය සේවකයන් රුපියල් 25,000ක අතුරු දීමනාවක් ඉල්ලයි

සංවර්ධන නිලධාරීන්, කළමනාකරණ සේවා නිලධාරීන්, සෞඛ්‍ය කාර්ය මණ්ඩලය, තාක්ෂණ නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන්, ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් මෙන්ම වෛද්‍යවරුන් ද මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට සහභාගී වීමට නියමිතය.

සියලු රාජ්‍ය සේවකයන්ට රුපියල් 25,000ක අතුරු දීමනාවක් ලබාදිය යුතු බවට ඉදිරිපත් කර ඇති ඉල්ලීම මෙම විරෝධතාවයේ ප්‍රධාන අරමුණ බව සමස්ත ලංකා සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අනුරාධ සෙනවිරත්න මහතා සඳහන් කළේය.

මේ අතර, රජයට විරෝධය පළ කිරීමේ අරමුණින් අද දිනයේ කළු ඇඳුමින් සැරසී පාසල් වෙත පැමිණීමට තීරණය කර ඇති බව විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ සංගමයේ සභාපති නිමල් මුදුන්කොටුව මහතා ප්‍රකාශ කළේය.

වත්මන් රජය කම්කරු පන්තියේ ගැටලු නොසලකා කටයුතු කිරීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇති බව සමස්ත ලංකා කළමනාකරණ සේවා නිලධාරීන්ගේ සංගමයේ සභාපති උදේනි දිසානායක මහතා පෙන්වා දුන්නේය.

අයවැයෙන් වෛද්‍යවරුන්ගේ සහ සෞඛ්‍ය සේවයේ පවතින ගැටලුවලට විසඳුම් ලබාදීමට රජය අපොහොසත් වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ලසිත කන්නංගර මහතා සඳහන් කළේය.

එමෙන්ම, රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය ඉදිරිපත් කර ඇති ඉල්ලීම් සම්බන්ධයෙන් ආණ්ඩුව අවධානය යොමු නොකරන්නේ නම් ඉදිරියේදී වැඩවර්ජන ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට සැලසුම් කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා පැවසීය.

මේ අතර, ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සහ විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක සංගමයේ සභාපති ධම්මික එස්. ප්‍රියන්ත මහතා ද අවධාරණය කළේ වෘත්තීය සමිති මතුකර ඇති ගැටලු විසඳීමට රජය කඩිනමින් මැදිහත් විය යුතු බවයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button