ප්‍රධාන පුවත්

ශ්‍රී පාද වන්දනාවාරය දෙසැම්බර් 23 ඇරඹේ – ශ්‍රී පාද මාවත ගැනත් විශේෂ ප්‍රකාශයක්

ශ්‍රී පාද වන්දනාවාරය මෙවර දෙසැම්බර් 23 වැනිදා උදුවප් පුර පසළොස්වක පොහොය දිනයේදී නිල වශයෙන් ආරම්භ කිරීමට නියමිතය.

ශ්‍රී පාද මාවත කිසිදු පුද්ගලයෙකුට හෝ ආයතනයකට පෞද්ගලිකව අයත් නොවන අතර එය සම්පූර්ණයෙන්ම මහජනතාව සතු මාර්ගයක් බව ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙන්ගමුවේ ශ්‍රී ධම්මදින්න නායක හිමියෝ පවසති.

ශ්‍රී පාද වන්දනාවාරය ආරම්භයට සියලු කටයුතු සූදානම් – ශ්‍රී පාද මාවත මහජනතාව සතු බවට ප්‍රකාශයක්

2026-2027 ශ්‍රී පාද වන්දනාවාරය ආරම්භ කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ නිලධාරීන් දැනුවත් කිරීම සඳහා ඊයේ (18) පස්වරුවේ නල්ලතන්නිය ග්‍රාමසේවක කාර්යාලයේ පැවැති විශේෂ සාකච්ඡාවකදී උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළහ.

නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම රැස්වීමේදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාහිමියෝ, නල්ලතන්නිය බෞද්ධ මධ්‍යස්ථානය අසල සිට රත්නපුර පලාබද්දර ශ්‍රී පාද තොරණ දක්වා දිවෙන මාර්ගය වනජීවී දෙපාර්තමේන්තුවට අයත් මාර්ගයක් නොවන බව අවධාරණය කළහ.

වන්දනා සමයෙන් බැහැර කාලසීමාව තුළ ශ්‍රී පාද මාර්ගයේ සංචාරය කරන ඇතැම් දේශීය සංචාරකයන් පරිසරයට සහ පොදු දේපළවලට හානි සිදුකරන බවද උන්වහන්සේ පෙන්වා දුන්හ. එමෙන්ම වනජීවී දෙපාර්තමේන්තුව විසින් මුදල් අයකර ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම හේතුවෙන් එවැනි ක්‍රියාවලට එරෙහිව නීතිමය පියවර ගැනීමේදී ගැටලු මතුවන බවද සඳහන් කළහ.

ශ්‍රී පාදස්ථානය පූජනීය ස්ථානයක් ලෙස නම් කර, මාර්ගයේ දෙපසට අඩි 20 බැගින් ඇතුළත් වන පරිදි ගැසට් නිවේදනයක් නිකුත් කරන ලෙස අවස්ථා කිහිපයකදීම රජයන්ගෙන් ඉල්ලීම් කර තිබුණද මෙතෙක් එය ඉටු වී නොමැති බවද නාහිමියෝ පැවසූහ.

එබැවින් මෙවර වන්දනාවාරය අවසන් වීමට පෙර ශ්‍රී පාදස්ථානය පූජනීය ස්ථානයක් ලෙසත්, අදාළ මාර්ගය ‘ශ්‍රී පාදස්ථාන මාවත’ ලෙසත් නිල වශයෙන් නම් කිරීමට අවශ්‍ය මැදිහත්වීම සිදුකරන ලෙස උන්වහන්සේ රැස්වීමට සහභාගී වූ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි මහතාගෙන් ඉල්ලීමක් කළහ.

මේ අතර, දිට්වා සුළි කුණාටුව හේතුවෙන් හැටන් මාර්ගයේ මහගිරිදඹ ප්‍රදේශයේ සිදුවූ විශාල නායයෑම සහ පසුගිය දිනවල ඇදහැලුණු වර්ෂාව හේතුවෙන් ඉදිකටු පහණ ප්‍රදේශයේ ඇතිවූ නායයෑම යථා තත්ත්වයට පත්කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සෘජුව මැදිහත් වූ බවද ශ්‍රී පාදස්ථානාධිපති හිමියෝ සිහිපත් කළහ.

ඒ සඳහා ආරක්ෂක අංශ යොදවා අවශ්‍ය කටයුතු සිදුකිරීම මෙන්ම වන්දනාකරුවන්ට සහ උඩමළුවට නොමිලේ පානීය ජලය ලබාදීමට ජනාධිපතිවරයා මැදිහත් වීමද උන්වහන්සේගේ ඇගයීමට ලක්විය.

තවද, වන්දනාවාරය ආරම්භ වීමට පෙර නල්ලතන්නිය මාර්ගයේ පිහිටි බඹර කූඩු ඉවත් කිරීමටත්, නායයෑම් හේතුවෙන් මාර්ගයට පැමිණ ඇති ගල් සහ පස් ඉවත් කිරීමටත් සාකච්ඡාවේදී තීරණය කර තිබේ.

එමෙන්ම සීතගඟුල ප්‍රදේශය වන්දනාකරුවන්ට ස්නානය කිරීම සඳහා සුදුසු පරිදි සකස් කිරීමටද මෙහිදී එකඟතාව පළවී ඇත.

මෙවර ශ්‍රී පාද වන්දනාවාරය ආරම්භ කිරීම වෙනුවෙන් දෙසැම්බර් 21 වැනිදා පස්වරුවේ ගල්පොත්තාවල රජමහා විහාරස්ථානයේ තැන්පත් කර ඇති සධාතුක කරඬුව, සමන් දේව ප්‍රතිමා, දේව ආභරණ සහ පූජා භාණ්ඩ වැඩම කරවීමට නියමිතය.

අනතුරුව දෙසැම්බර් 22 වැනිදා පැල්මඩුල්ල ශ්‍රී පාද රජමහා විහාරස්ථානයේ සිට පලාබද්දර, එරත්න, රත්නපුර, අවිස්සාවේල්ල සහ හැටන් මාර්ග ඔස්සේ පෙරහැර හතරකින් එම පූජනීය වස්තූන් ශ්‍රී පාද උඩමළුව වෙත වැඩම කරවීම සිදුකෙරේ.

දෙසැම්බර් 23 වැනිදා අලුයම උඩමළුවේදී පුරාණ චාරිත්‍ර ඉටුකිරීමෙන් අනතුරුව මෙවර වන්දනාවාරය නිල වශයෙන් ආරම්භ කිරීමට නියමිතය.

ශ්‍රී පාද වන්දනාවේ පැමිණීමේදී පරිසරය ආරක්ෂා කිරීමටත්, ශ්‍රී පාදස්ථානයේ පූජනීයත්වයට ගරු කරමින් කටයුතු කිරීමටත් සියලුම වන්දනාකරුවන් වගබලා ගත යුතු බව ශ්‍රී පාදස්ථානාධිපති නාහිමියෝ ඉල්ලා සිටිති.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button