
ප්‍රදේශ රැසකට අද තද වැසි – කාලගුණයෙන් දැනුම්දීමක්
අද තද වැසි බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම සහ වයඹ පළාත්වල ප්‍රදේශ රැසකට බලපෑ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
2026 සැප්තැම්බර් 24 දින උදෑසන 5.30ට නිකුත් කළ කාලගුණ අනාවැකියට අනුව, බටහිර-මධ්‍යම සහ ඊට යාබද වයඹ බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති ගැඹුරු පීඩන අවපාතය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් පවතී.
එම පද්ධතිය ඉන්දියාවේ උතුරු ආන්ද්‍ර ප්‍රදේශ් සහ ඊට යාබද දකුණු ඔඩිෂා වෙරළ තීරය හරහා ගොඩබිමට ඇතුළු වෙමින් පවතින බව සඳහන් වේ.
මෙම ගැඹුරු පීඩන අවපාතයෙන් ශ්‍රී ලංකාවට සෘජු බලපෑමක් නොමැති වුවද, එම පද්ධතිය දෙසට ඇදී යන සුළං ප්‍රවාහය හේතුවෙන් දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල පවතින වැසි තත්ත්වය තවදුරටත් පැවතිය හැකිය.
බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ද ඇතිවිය හැකි බව කාලගුණ අනාවැකියේ දැක්වේ.
උතුරු-මැද පළාතේ සහ මන්නාරම දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකට වැසි ස්වල්පයක් ඇතිවිය හැකිය.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල මෙන්ම උතුරු-මැද සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර වේගයකින් තද සුළං ඇතිවිය හැකි බව සඳහන් වේ.
එමෙන්ම ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා තිබේ.



