ප්‍රධාන පුවත්

රාජාංගනයේ සද්ධාරතන අත්අඩංගුවට නොගැනීම ගැන SSPට අධිකරණයෙන් නියෝගයක්

රාජාංගනයේ සද්ධාරතන ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන ලෙස අනුරාධපුර කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට අධිකරණය නියෝග කර තිබේ.

රාජාංගනයේ සද්ධාරතන ඇතුළු පිරිස අත්අඩංගුවට නොගැනීම ගැන 26 වැනිදා කරුණු විමසයි

අනුරාධපුර රුවන්වැලි මහා සෑය ආසන්නයේ දන්සැල් කලාපයේ පැවති සත්‍යග්‍රහ භූමියේදී සිදුවූ ගැටුමට මුල් වූ බවට චෝදනා එල්ල වන රාජාංගනයේ සද්ධාරතන ඇතුළු සෙසු පුද්ගලයන් අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් මෙලෙස කරුණු විමසා ඇත.

ඒ අනුව, ලබන 26 වැනිදා විවෘත අධිකරණය හමුවේ පෞද්ගලිකව පෙනී සිට අදාළ කරුණු පැහැදිලි කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න මහතා අද (17) නියෝග කළේය.

රුවන්වැලි මහා සෑය ආසන්නයේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් ලබන 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බලංගොඩ කස්සප හිමියන් හැර සෙසු භික්ෂූන් වහන්සේ සිව්නමක්, පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු සහ කාන්තාවක ඇප මත මුදාහරින ලෙස ඉල්ලමින් නීතිඥවරුන් වන ඉන්දික ඉඹුල්පිටිය සහ නුවන් බැල්ලන්තුඩාව යන මහත්වරුන් මෝසමක් ඉදිරිපත් කර තිබුණි.

එම මෝසම සලකා බැලූ අවස්ථාවේදී නීතිඥවරුන් අධිකරණයට පෙන්වා දී ඇත්තේ ගැටුමට මුල් වූ බව කියන රාජාංගනයේ සද්ධාරතන ඇතුළු පුද්ගලයන් 25කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ යුතුව තිබූ බවයි. එහෙත් පොලිසිය එම පියවර ගෙන නොමැති බවටද ඔවුන් කරුණු ඉදිරිපත් කර තිබේ.

තවද, අදාළ ගැටුම ඇතිවීම වැළැක්වීමට පොලිසියට හැකියාව තිබියදීත් ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන නොමැති බවට නීතිඥවරුන් චෝදනා කර ඇත.

සිද්ධියට අදාළ වීඩියෝ දර්ශන නිරීක්ෂණය කිරීමේදී ගැටුම මෙහෙයවීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් පිළිබඳවද සැකයක් මතුවන බව ඔවුන් වැඩිදුරටත් අධිකරණයට දැනුම් දී තිබේ.

කෙසේ වෙතත්, රක්ෂිත බන්ධනාගාරගතව සිටින සැකකරුවන් ඇප මත මුදාහරින ලෙස නීතිඥවරුන් කළ ඉල්ලීම ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button