උණුසුම් පුවත්

ලාෆ්ස් ගෑස් මිල පහළට – නව මිල ගණන් මෙන්න

ලාෆ්ස් ගෑස් මිල පහළ දැමීමට එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර තිබේ.

ලාෆ්ස් ගෑස් මිල සංශෝධනයෙන් කිලෝ 12.5 සිලින්ඩරය රුපියල් 5,995යි

ඒ අනුව, මෙතෙක් රුපියල් 6,740ක්ව පැවති කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 5,995ක් දක්වා අඩු කර ඇත.

එමෙන්ම, රුපියල් 2,720ක්ව පැවති කිලෝග්‍රෑම් 5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 2,398ක් දක්වා පහත දමා තිබේ.

සමාගම නිකුත් කළ නිවේදනයකට අනුව, අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා කළ ඉල්ලීම සහ පාරිභෝගික ජනතාව මුහුණ දෙන ආර්ථික අපහසුතා සැලකිල්ලට ගනිමින් මෙම මිල සංශෝධනය සිදුකර ඇත.

මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හේතුවෙන් සෞදි ඇරම්කෝ මිල ගණන් සහ නැව් ගාස්තු ඇතුළු ආනයන වියදම් ඉහළ ගොස් තිබුණද, මාස තුනක කාලයක් මිල සංශෝධනයකින් තොරව එම පිරිවැය වැඩිවීමෙන් ඇති වූ පාඩුව සමාගම දරාගෙන තිබූ බවද එම නිවේදනයේ සඳහන් වේ.

කෙසේ වෙතත්, අඛණ්ඩව සිදුවූ පාඩු හේතුවෙන් පසුගියදා කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,775කින් ඉහළ දැමීමට සිදුවූ බව සමාගම පෙන්වා දෙයි.

ඒ අනුව, පසුගිය 13 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4,965 සිට රුපියල් 6,740 දක්වා ඉහළ දැමුණු අතර, කිලෝග්‍රෑම් 5ක සිලින්ඩරයක මිල රුපියල් 1,988 සිට රුපියල් 2,720 දක්වා වැඩි කර තිබුණි.

මෙම මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා පසුගිය 16 වැනිදා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ලාෆ්ස් ගෑස් සමාගමේ නිලධාරීන් කැඳවා තිබේ.

එහිදී අදාළ නිලධාරීන් පවසා ඇත්තේ ඉහළ දැමූ මිල ගණන් යම් ප්‍රමාණයකින් අඩු කිරීමට සලකා බලන බවත්, ඒ පිළිබඳ අවසන් තීරණය අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමකින් අනතුරුව දැනුම් දෙන බවත්ය.

ඒ අනුව අධ්‍යක්ෂ මණ්ඩලය රැස්වී ගත් තීරණයට අනුව නව මිල සංශෝධනය ප්‍රකාශයට පත් කර තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button