ප්‍රධාන පුවත්

ත්‍රිකුණාමලයේ බුදුපිළිම සිද්ධිය: බලංගොඩ කස්සප හිමි රිමාන්ඩ්

ත්‍රිකුණාමලයේ බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් වරෙන්තු නිකුත් කර සිටි පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් අද (16) රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ත්‍රිකුණාමලයේ බුදුපිළිම සිද්ධියට අදාළ නඩුවේදී අධිකරණය මඟහැරීම හේතුවෙන් කස්සප හිමි හෙට දක්වා රක්ෂිත බන්ධනාගාරයට

ත්‍රිකුණාමලය මුහුදු වෙරළේ අනවසරයෙන් බුදුපිළිමයක් තැන්පත් කිරීම ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් විභාග වන නඩුව පසුගිය 11 වැනිදා කැඳවූ අවස්ථාවේදී කස්සප හිමියන් අධිකරණය හමුවේ පෙනී සිටියේ නැත. ඒ හේතුවෙන් උන්වහන්සේට එරෙහිව වරෙන්තු නිකුත් කර තිබුණි.

අනතුරුව අද දිනයේදී කස්සප හිමියන් ත්‍රිකුණාමලය අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, එහිදී ත්‍රිකුණාමලය ප්‍රධාන මහෙස්ත්‍රාත් ඒ.එස්.එස්. සම්සුදීන් මහතා ඉදිරියේ නඩු කටයුතු සිදු කෙරිණි.

එම අවස්ථාවේදී කස්සප හිමියන් වෙනුවෙන් පෙනී සිටීමට නීතිඥවරයෙකු ඉදිරිපත් නොවූ අතර, අධිකරණයේ පෙනී නොසිටීමට හේතු වූ කරුණු උන්වහන්සේ විසින්ම අධිකරණයට පැහැදිලි කර තිබේ.

බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම සහ එහි චිරස්ථිතිය තහවුරු කිරීම රජයේ මෙන්ම භික්ෂූන් වහන්සේලාගේද වගකීමක් බව එහිදී ප්‍රකාශ කර ඇති කස්සප හිමියන්, ඒ වෙනුවෙන් මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබූ බැවින් අධිකරණයේ පෙනී නොසිටීම විශ්ව නීතියට අනුව සාධාරණ බව සඳහන් කර ඇත.

කෙසේ වෙතත්, අධිකරණය මඟහැර සිටීම සම්බන්ධයෙන් කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා, කස්සප හිමියන් හෙට (17) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර තිබේ.

ඒ අනුව උන්වහන්සේ හෙට දිනයේදී යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම නඩුවට අදාළ සාක්ෂි මෙහෙයවීම ත්‍රිකුණාමලය වරාය පොලීසිය විසින් සිදුකරනු ලැබීය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button