ප්‍රධාන පුවත්

2027 අයවැයෙන් PAYE බදු සීමාව තවත් ඉහළට – සේවකයන්ට සහනයක්

2027 අයවැයෙන් PAYE බදු සීමාව තවදුරටත් ඉහළ නැංවීමට රජය අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කර තිබේ.

2027 අයවැයෙන් PAYE බදු සීමාව පුළුල් කිරීමට රජයේ සැලසුමක්

ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අයවැය ලේඛනය මගින් මෙම බදු සහනය ලබාදීමට අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

අද (07) කොළඹදී පැවැත්වෙන ජාතික වෘත්තීය සමිති සමුළුව අමතමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පෙන්වා දුන්නේ මීට පෙර රුපියල් ලක්ෂයක්ව පැවති PAYE බදු සීමාව රුපියල් ලක්ෂ එකහමාරක් දක්වා ඉහළ නැංවීමට රජය පියවර ගත් බවයි.

එම සහනය තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් මෙවර අයවැය මගින් ද බදු අය කිරීමේ සීමාව යම් ප්‍රමාණයකින් ඉහළ දැමීමට අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා පැවසීය. ඒ අනුව වැටුප් ලබන සේවකයන්ට තවදුරටත් බදු සහනයක් හිමිවනු ඇති බවද ඔහු සඳහන් කළේය.

මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා පෞද්ගලික අංශය විශාල දායකත්වයක් ලබාදෙන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, එම අංශයේ සේවකයන්ගේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් රජය විශේෂ අවධානයක් යොමු කර ඇති බවද කියා සිටියේය.

පෞද්ගලික ආයතන සහ ව්‍යාපාරික සංගම් සමඟ පැවැත්වූ සාකච්ඡාවලින් අනතුරුව පෞද්ගලික අංශයේ සේවකයන්ගේ මූලික වැටුප් ඉහළ නැංවීමට කටයුතු කළ බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

එහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් මෙසේ ප්‍රකාශ කළේය.

“පෞද්ගලික අංශය තමයි අපේ ආර්ථිකයට විශාල දායකත්වයක් සපයන්නේ. අපි පෞද්ගලික ආයතන සහ ඒවාට අදාළ ව්‍යාපාරික සංගම් සමඟ සාකච්ඡා කළා. ඒ සාකච්ඡාවලින් අනතුරුව අපි මූලික වැටුප් වැඩි කළා. හැබැයි, මූලික වැටුප වැඩි කළාට එය සේවකයන්ට දැනෙන මට්ටමේ වැඩිවීමක් නෙවෙයි. ඒ නිසා ඔවුන්ගේ අතිරේක දීමනා සම්බන්ධයෙනුත් අපි අවධානය යොමු කළා. ඒ වගේම ඉහළ වැටුප් ලබන අයට වැටුපෙන් අඩු වන බද්ද තමයි PAYE Tax එක. එහි සීමාව රුපියල් ලක්ෂයක සිට ලක්ෂ එකහමාර දක්වා අපි ඉහළ දැම්මා. මේ අයවැය ලේඛනයේදීත් එම සීමාව යම් ප්‍රමාණයකින් ඉහළ දැමීමට අපි අපේක්ෂා කරනවා. ඒ හරහා PAYE බද්ද සම්බන්ධයෙන් යම් සහනයක් ලබාදීමට හැකියාව ලැබෙනවා. ඒ අනුව, රාජ්‍ය, අර්ධ රාජ්‍ය, වැවිලි සහ පෞද්ගලික යන සියලු අංශ ආරක්ෂා කිරීමේ වගකීම අපේ ආණ්ඩුවට තිබෙනවා. අපි ඒ වගකීම භාරගෙන සිටිනවා.”

එමෙන්ම රාජ්‍ය, අර්ධ රාජ්‍ය, වැවිලි සහ පෞද්ගලික යන සියලු අංශවල සේවකයන්ගේ අයිතිවාසිකම් හා ආර්ථික සුරක්ෂිතභාවය ආරක්ෂා කිරීම රජයේ වගකීමක් බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

සියලු අංශවල සේවකයන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරමින් ඔවුන්ගේ ආර්ථික තත්ත්වය නඟාසිටුවීම සඳහා රජය කැපවී කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button