ප්‍රධාන පුවත්

2026 අංක 8 පරිපූරක ඇස්තමේන්තුව හෙට විවාදයට – ගුවන් හමුදාවට රු. මිලියන 4,261ක්

2026 අංක 8 පරිපූරක ඇස්තමේන්තුව අනුමත කිරීම සඳහා හෙට (05) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට තීරණය කර තිබේ.

අද (04) කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.

2026 අංක 8 පරිපූරක ඇස්තමේන්තුවෙන් ගුවන් හමුදාවට මිලියන 4,261ක්

මෙම පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කර ඇත්තේ ඒකාබද්ධ අරමුදලෙන් හෝ රජය සතු වෙනත් ඕනෑම අරමුදලකින් රුපියල් මිලියන 4,261ක මුදලක් ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත ලබාදීම වෙනුවෙනි.

වෙනස් වෙමින් පවතින මෙහෙයුම් පරිසරය සහ බෙංගාල බොක්ක ආශ්‍රිත ප්‍රදේශවල නිරන්තරයෙන් ඇතිවන අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් මතුවිය හැකි ආසන්න තර්ජන පිළිබඳ අවධානය යොමු කරමින් මෙම මුදල් වෙන් කිරීමට සැලසුම් කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා ගුවන් හමුදාව සඳහා නියමුවන් රහිත ගුවන්යානා පද්ධතියක් ස්ථාපිත කිරීම මෙම මුදල් ප්‍රතිපාදන යෙදවීමේ අරමුණ වී ඇත.

මේ අතර, මීට පෙර තීරණය කළ පරිදි භාර (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය ද හෙට පෙරවරු 11.30 සිට පස්වරු 5.00 දක්වා පැවැත්වීමට නියමිතය.

තවද, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 වැනි වගන්තිය යටතේ මෙම පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් නොවන්නේ නම්, සිකුරාදා (06) දිනට නියමිත පාර්ලිමේන්තු කටයුතුවල කිසිදු වෙනසක් සිදු නොවන බව ද දැනුම් දී තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button