
පාසල් අධ්‍යාපනයේ සැබෑ අරමුණ විභාගවලට සීමා නොවිය යුතුයි – අගමැතිනිය
පාසල් අධ්‍යාපනයේ සැබෑ අරමුණ දරුවන් විභාග සමත් කරවීම පමණක් නොව, ඔවුන්ගේ පෞරුෂය, නායකත්ව හැකියාව සහ සමාජ කුසලතා වර්ධනය කිරීම බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
පාසල් අධ්‍යාපනයේ සැබෑ අරමුණ දරුවන්ගේ කුසලතා වර්ධනය කිරීමයි
කෝට්ටේ ආනන්ද ශාස්ත්රාලයීය වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට ඊයේ (30) එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.
පාසලක් තුළින් දරුවන්ට නායකත්වය, කණ්ඩායම් හැඟීම සහ ජීවිතයට අවශ්‍ය යහපත් වටිනාකම් හඳුනාගැනීමට අවස්ථාව සැලසිය යුතු බව ඇය පෙන්වා දුන්නාය.
විභාගවලදී ඉහළ සාමාර්ථ ලබාගන්නා සිසුන් පමණක් ඇගයීමට ලක් කිරීම ප්‍රමාණවත් නොවන බවද අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය. ක්‍රීඩා, කලා සහ විෂය සමගාමී ක්‍රියාකාරකම් ඇතුළු විවිධ ක්ෂේත්රවල දක්ෂතා පෙන්වන දරුවන්ගේ හැකියාවන් හඳුනාගෙන ඒවා දිරිගැන්වීමද අත්‍යවශ්‍ය බව ඇය සඳහන් කළාය.
එමෙන්ම උසස් පෙළ පන්තිවල අධ්‍යාපනය ලබන පිරිමි සිසුන් ක්‍රමයෙන් පාසල් අධ්‍යාපන පද්ධතියෙන් ඉවත්වීමේ ප්‍රවණතාවක් පිළිබඳවද ඇය කරුණු දැක්වූවාය. එවැනි තත්ත්වයක් ඇතිවීමට බලපාන හේතු ගැඹුරින් අධ්‍යයනය කර අවශ්‍ය විසඳුම් සෙවිය යුතු බවද ඇය පෙන්වා දුන්නාය.
දරුවන්ට ආදරය, ආරක්ෂාව සහ සමාජය තුළ සාර්ථකව ජීවත්වීමට අවශ්‍ය කුසලතා ලබාදීම පාසලේ වගකීමක් බවත්, ඒ සඳහා සිසුන් පාසල තුළ රඳවාගත හැකි ආකර්ෂණීය මෙන්ම සහායක ඉගෙනුම් පරිසරයක් ගොඩනැගිය යුතු බවත් අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.
වර්තමාන ලෝකය තුළ දැනුම, තාක්ෂණය සහ රැකියා ක්ෂේත්රය වේගයෙන් වෙනස් වෙමින් පවතින බව පෙන්වා දුන් ඇය, ජීවිතය පොතපතේ දැනුමට හෝ ඩිජිටල් උපාංග භාවිතයට පමණක් සීමා නොකළ යුතු බවද සඳහන් කළාය.
ජීවිත කාලය පුරාම අලුත් දේ ඉගෙන ගැනීමටත්, සමාජය නිවැරදිව අවබෝධ කරගැනීමටත් අවශ්‍ය හැකියාවන් දරුවන් තුළ වර්ධනය කළ යුතු බවත්, එසේ නොවුණහොත් අනාගත ලෝකය තුළ සාර්ථකත්වය අත්කර ගැනීම අසීරු වන බවත් අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් අවධාරණය කළාය.



