
මුතුරාජවෙල පාරිසරික ගැටලු විසඳීමට විශේෂ අවධානයක් ඊයේ (30) පැවැත්විණි
මුතුරාජවෙල පාරිසරික ගැටලු ඇතුළු මීගමුව කලපුව සහ ගම්පහ දිස්ත්‍රික්කය ආශ්‍රිතව පවතින පරිසර හානි සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ඊයේ (30) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
මුතුරාජවෙල පාරිසරික ගැටලු විසඳීමට කමිටු පිහිටුවීමටත් තීරණයක්

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවේදී ප්‍රදේශ කිහිපයක පවතින පාරිසරික ගැටලු පිළිබඳව දීර්ඝ වශයෙන් අවධානය යොමු කර තිබේ.
විශේෂයෙන්ම මුතුරාජවෙල වගුරුබිම් ආශ්‍රිතව සිදුවන පරිසර හානි, පමුණුගම වෙරළ තීරයේ පාරිසරික ගැටලු සහ සීදුව ලියනගේමුල්ල ප්‍රදේශයේ කර්මාන්ත ආශ්‍රිතව මතුව ඇති ගැටලු පිළිබඳව මෙහිදී සාකච්ඡා කර ඇත.
එම ප්‍රදේශවල සිදුවන පාරිසරික හානි වැළැක්වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නා ලෙස ජනාධිපති ලේකම්වරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.
එමෙන්ම පවතින පාරිසරික ගැටලුවලට දිගුකාලීන හා තිරසර විසඳුම් ලබාදීමේ අරමුණින් ජනතා නියෝජිතයන් සහ ප්‍රජා සංවිධානවල සාමාජිකයන් ද ඇතුළත් කමිටු පිහිටුවීමටද සාකච්ඡාවේදී තීරණය කර ඇත.
මෙම අවස්ථාවට අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, ජේ. ඩී. ඇන්තනි රදගුරුතුමා, සිරිල් ගාමිණී පියතුමා සහ නිලන්ත හේෂාන් පියතුමා ඇතුළු ආගමික නායකයෝ එක්ව සිටියහ.
එසේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලසිත් භාෂණ ගමගේ සහ ස්ටෙෆනි ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් ද ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, ජනාධිපති නීති උපදේශක ජේ. එම්. විජේබණ්ඩාර ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක් ද මෙම සාකච්ඡාවට සහභාගී වූහ.
පරිසර අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු තවත් පිරිසක් ද ඊට එක්ව සිටියහ.



