
තේ පැළ තවාන් සහ තේ වගාවන් සඳහා නව රක්ෂණ ක්‍රමයක්
තේ පැළ තවාන් සහ තේ වගාවන් සඳහා නව රක්ෂණ ක්‍රමයක් හඳුන්වාදීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පියවර ගෙන තිබේ.
මෙම තේ පැළ තවාන් සහ වගාවන් සඳහා රක්ෂණ ක්‍රමය යටතේ ප්රතිලාභ ලබාගැනීමට සුදුසුකම් ලබන්නේ කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි වූ හෝ ව්‍යාපාරයක් ලෙස ලියාපදිංචි කර ඇති, තේ පර්යේෂණ ආයතනයේ නිර්දේශයන්ට අනුකූලව පවත්වාගෙන යන පැළ තවාන් සහ තේ වගාවන් පමණි.
තේ පැළ තවාන් සහ වගාවන් සඳහා රක්ෂණ ක්‍රමය යටතේ අක්කරයකට රුපියල් මිලියනයක් දක්වා ආවරණයක්
ගංවතුර, නියඟය සහ නායයෑම් වැනි පාලනය කළ නොහැකි ස්වාභාවික විපත් හේතුවෙන් සිදුවන හානි සඳහා මෙම රක්ෂණ ක්‍රමය යටතේ වන්දි ප්රතිලාභ ලබාගත හැකිය. එමෙන්ම පාලනය කළ නොහැකි රෝග සහ කෘමි උවදුරු නිසා සිදුවන හානි ද රක්ෂණ ආවරණයට ඇතුළත් කර තිබේ.
රක්ෂණ ක්‍රමය යටතේ තේ පැළ තවානක පවතින එක් පැළයක් සඳහා වාර්ෂික රක්ෂිත මුදල රුපියල් 35ක් ලෙස නියම කර ඇත.
අලුතින් තේ පැළ සිටුවීමෙන් පසු දළු නෙළීම ආරම්භ කරන අවස්ථාව දක්වා උපරිම වසර හතරක කාලයක් සඳහා තේ වගාවන්ට විශේෂ රක්ෂණ ආවරණයක් ලබාගැනීමේ හැකියාව ද පවතී. ඒ අනුව උපරිම අක්කරයක වගා භූමියක් සඳහා රුපියල් මිලියනයක් දක්වා රක්ෂණ ආවරණයක් ලබාගත හැකිය.
මෙම රක්ෂණ යෝජනා ක්‍රමය සඳහා තේ පැළ තවාන් සහ තේ වගාවන් වෙනුවෙන් ගෙවිය යුතු වාර්ෂික රක්ෂණ වාරිකය රක්ෂිත මුදලින් සියයට 6කි.
රක්ෂණ ක්‍රමය පිළිබඳ වැඩිදුර තොරතුරු කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ දිස්ත්‍රික් කාර්යාලවලින් හෝ 1918 ක්ෂණික දුරකථන අංකය ඇමතීමෙන් ලබාගත හැකිය.



