
ලලිත් පියුම් පෙරේරා අත්අඩංගුවට – රජයට රුපියල් ලක්ෂ 51ක පාඩුවක් කළ බවට චෝදනා
ජාතික තරුණ සේවා සභාවේ හිටපු සභාපති හා අධ්‍යක්ෂ ජනරාල් ලලිත් පියුම් පෙරේරා මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අද (28) අත්අඩංගුවට ගෙන තිබේ.
ලලිත් පියුම් පෙරේරා අත්අඩංගුවට ගැනීම රුපියල් ලක්ෂ 51ක පාඩුවක් සම්බන්ධ චෝදනා මත
අම්පාර සාමපුර ප්‍රදේශයේ පිහිටි ඉඩමක් සහ එහි ඉදිකර තිබූ ගොඩනැගිලි සම්බන්ධයෙන් සිදුකළ බව කියන ගනුදෙනුවක් මෙම අත්අඩංගුවට ගැනීමට හේතු වී ඇත.
අදාළ ඉඩම සහ ගොඩනැගිලි රජයට අයත් දේපළක් ලෙස හඟවමින් අතුරු බදු ගිවිසුම් සකස් කර, එය ජාතික තරුණ සේවා සභාවට බදු පදනම මත ලබාගෙන ඇති බවට ඔහුට චෝදනා එල්ල වී තිබේ.
එම ගනුදෙනුවට අදාළව තුන්වන පාර්ශ්වයකට තරුණ සේවා සභාවේ මුදල් යොදාගෙන රුපියල් ලක්ෂ 38ක මුදලක් අයුතු සහ නීතිවිරෝධී ලෙස ගෙවා ඇති බව ද චෝදනාවල සඳහන් වේ.
මීට අමතරව, අධ්‍යක්ෂ මණ්ඩලයේ විධිමත් අනුමැතියකින් තොරව අදාළ ගොඩනැගිල්ල අලුත්වැඩියා කිරීම සඳහා ද සභාවේ මුදලින් රුපියල් ලක්ෂ 13ක් ගෙවා ඇති බවට චෝදනා එල්ල වී ඇත.
මෙම ගෙවීම් හේතුවෙන් රජයට රුපියල් ලක්ෂ 51ක පාඩුවක් සිදුකර ඇති බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් ලලිත් පියුම් පෙරේරා මහතා අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



