උණුසුම් පුවත්

රාජාංගනයේ වාන් දොරටු 16ක් විවෘත කරයි – පහළ ප්‍රදේශවලට අනතුරු ඇඟවීමක්

රාජාංගනයේ වාන් දොරටු 16ක් විවෘත කිරීමත් සමඟ පහළ ප්‍රදේශවල ජනතාවට විමසිල්ලෙන් පසුවන ලෙස දැනුම් දී තිබේ.

රාජාංගනයේ වාන් දොරටු 16ක් විවෘත කිරීමෙන් කලා ඔයට විශාල ජල ප්‍රමාණයක්

රාජාංගන ජලාශයට ලැබෙන ජල ප්‍රමාණය පාලනය කිරීමේ අරමුණින් අද (26) මධ්‍යහ්න 12 වන විට වාන් දොරටු 16ක් විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව කලා ඔයට තත්පරයකට ඝන අඩි 15,000කට අධික ජල ප්‍රමාණයක් මුදාහැරීමට අපේක්ෂා කෙරේ.

ජලාශයේ පෝෂක ප්‍රදේශවලට ලැබෙන වර්ෂාපතනය සහ ජලාශයට ගලා එන ජල ප්‍රමාණය අනුව ඉදිරියේදී විවෘතව තබන වාන් දොරටු සංඛ්‍යාව වෙනස් විය හැකි බව ද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

මේ හේතුවෙන් රාජාංගන ජලාශයට පහළින් කලා ඔය ගංගා ද්‍රෝණිය ආශ්‍රිතව පදිංචි ජනතාව ගංගාවේ ජල මට්ටම ඉහළ යාම හෝ වෙනස් වීම පිළිබඳව අවධානයෙන් සිටිය යුතුය. එමෙන්ම වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ ආපදා කළමනාකරණ අංශ නිකුත් කරන නිල නිවේදන අනුව කටයුතු කරන ලෙස ද ජනතාවට දැනුම් දී තිබේ.

මේ අතර, මී ඔය ගංගා ද්‍රෝණියේ පිහිටි තබ්බෝව ජලාශයේ ද වාන් දොරටු හතරක් අඩිය බැගින් විවෘත කර ඇත.

අද මධ්‍යහ්න 12 වන විට ජලාශයට ලැබෙන ජල ප්‍රමාණය පාලනය කිරීම සඳහා මෙම පියවර ගෙන ඇති අතර, එමගින් මී ඔයට තත්පරයකට ඝන අඩි 880ක ජල ප්‍රමාණයක් මුදාහරින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව තබ්බෝව ජලාශයට පහළ ප්‍රදේශවල සහ මී ඔය දෙපස පදිංචි ජනතාව ද ගංගාවේ ජල මට්ටමේ වෙනස්වීම් පිළිබඳව අවධානයෙන් පසුවිය යුතුය. අදාළ බලධාරීන් නිකුත් කරන උපදෙස් හා නිවේදන පිළිපදින ලෙස ද එම ජනතාවට දැනුම් දී තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button