
මහින්දගෙන් නාමල්ට ලිපියක් – දේශපාලනය ගැන අවවාදයක්
මහින්දගෙන් නාමල්ට ලිපියක් යොමු කරමින් සිරගතවීමට සහ දුක් විඳීමට සූදානමින් දේශපාලනයේ නිරත වන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය පුත්‍රයා වන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට උපදෙස් දී තිබේ.
රක්ෂිත බන්ධනාගාරගතව සිටින නාමල් රාජපක්ෂ මහතා වෙත මෙම ලිපිය යොමු කර ඇත්තේ රෝහල්ගතව ප්‍රතිකාර ලබන හිටපු ජනාධිපතිවරයා විසිනි. ඔහුගේ ලේකම්වරයෙකු මාර්ගයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා වෙත භාර දුන් ලිපිය පසුව නාමල් රාජපක්ෂ මහතා වෙත ලබාදී ඇති බව සඳහන් වේ.
අදාළ ලිපියෙන් මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දී ඇත්තේ දේශපාලන කටයුතුවලදී අධිකරණය කෙරෙහි විශ්වාසය තබා කටයුතු කළ යුතු බවයි. එමෙන්ම තමන් දේශපාලනයට පිවිසීමට අදහස් කළ අවස්ථාවේ නාමල් රාජපක්ෂ මහතාට ලබාදුන් අවවාදය ද ඔහු මෙහිදී සිහිපත් කර තිබේ.
හිටපු ජනාධිපතිවරයා නාමල් රාජපක්ෂ මහතා වෙත යොමු කළ ලිපියේ සම්පූර්ණ අන්තර්ගතය පහතින් දැක්වේ.
ආදරණීය නාමල්!
ඔබ දේශපාලනයට පිවිසීම අදහස් කළ වර්ෂ 2010 දී ඊට මගෙන් අවසර පැතුවා මතක ඇති. ඒ අවස්ථාවේ මම ඔබට දුන් අවවාදය ද මතක ඇතැයි සිතමි. කැමති නම් දේශපාලනයට එන්න. හැබැයි හිරේ යන්න වගේම දුක් විඳින්න බලාගෙන එන්න. ඒකට මට කමක් නෑ.
මම එලෙස කීවේ මා දේශපාලනයට පිවිසි ටික කලකින් එදා පැවති ආණ්ඩුව විසින් පදනම් විරහිත චෝදනාවක් දමා මා බන්ධනාගාරගත කළ නිසාය. ඒ වන විට ඔබ ඉපදී නැත. එදා මගේ එකම විශ්වාසය තිබුණේ අධිකරණය ගැන පමණයි. කවුරුන් කුමක් කිව්වද ඔබත් අධිකරණය ගැන පමණක් විශ්වාසය තබන්න.
දෛවෝපගත ලෙස අම්මාත් මමත් මේ දිනවල ඔබ ද උපන් නවලෝක රෝහලේ රෝහල්ගත වී සිටිමු. ඔබේ සහෝදරයන් වන යෝෂිත සහ රෝහිත අපේ සුවදුක් විමසා බලයි. යෝෂිතට එක් නඩුවක් වැටී ඇත්තේ ඔවුන් නාවික හමුදාවේ රැකියාවට යෑම නිසාය. එකල අපි රැකියා ලබා දුන් දහස් ගණන් තරුණයන් අතර මේ ආණ්ඩුවේ උදවියගේ තරුණ දරුවන්ද සිටි වග ඔබට ද මතක ඇතැයි සිතමි. එහෙත් ඔබලාට බලය ඇති කිසිම අවස්ථාවක ඒ අය පසුපස යන්න එපා.
මාගේ මතය දෙමව්පියන් කරන දේට දරුවන් පලි නැති බවයි. පලි නොගැනීම රාජපක්ෂවරුන්ගේ ක්‍රමයයි. සම්ප්රදායයි.
මේ රටේ දුක් විඳින ලක්ෂ සංඛ්‍යාත ජනතාවට රට නිදහස් කර දීමේ වරදට රාජපක්ෂවරුන් මේ සමාජය වැරදිකරුවන් කරන්නේ නැත. අප ඡන්දයෙන් පරාජය කරන ලද නමුත් රටේ ජනතාව කළගුණ සලකන සමාජයක් බව සිතා කටයුතු කරන්න.
ඔබට තෙරුවන් සරණයි!”



