
චාමර සම්පත්ට නඩු හතරකදී ඇප
චාමර සම්පත්ට නඩු හතරකදී ඇප ලබාදීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (23) නියෝග කළේය. අල්ලස් ලබා ගැනීමේ සිද්ධීන් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම ඉදිරිපත් කළ පැමිණිලි හතරකට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක සහ ඔහුගේ ලේකම්වරයා මෙලෙස ඇප මත මුදා හැරීමට නියම කෙරිණි.
අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කළේය.
ඒ අනුව, එක් එක් නඩුව සඳහා එක් සැකකරුවෙකුට රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට අධිකරණය නියෝග කර තිබේ. එමෙන්ම සැකකරුවන්ගේ විදේශ ගමන් ද තහනම් කර ඇත. අදාළ නඩු යළි ජනවාරි 26 වැනිදා කැඳවීමට නියමිතය.
මේ අතර, පොස්පේට් අපනයනය සඳහා අවශ්‍ය බලපත්‍ර නිකුත් කිරීම වෙනුවෙන් පෞද්ගලික සමාගම් තුනකින් රුපියල් ලක්ෂ 81ක මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීම සහ ඊට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් පවතින නඩුවේදී චාමර සම්පත් දසනායක මන්ත්‍රීවරයා සහ ඔහුගේ ලේකම්වරයා ඉදිරිපත් කළ ඇප ඉල්ලීම ද අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.
එම නඩුවට අදාළව සැකකරුවන් නොවැම්බර් 6 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.



