
කථානායකට එරෙහි විශ්වාසභංග විවාදය දින නියමයක් නැතිව කල් යයි
කථානායකට එරෙහි විශ්වාසභංග විවාදය පැවැත්වෙන දිනය තීරණය කිරීම දින නියමයක් නොමැතිව කල් දමා තිබේ. ඒ අනුව කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය ලබන සතියේ පාර්ලිමේන්තු කටයුතුවලට ඇතුළත් නොකිරීමට තීරණය කර ඇත.
ඉදිරි සතියේ පාර්ලිමේන්තු කටයුතු සැලසුම් කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (16) පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳ සාකච්ඡා කර තිබේ.
විවාදය ලබන 20 වැනි අඟහරුවාදා පැවැත්වීමට ආණ්ඩු පක්ෂය යෝජනා කර ඇතත්, අදාළ විශ්වාසභංග යෝජනාවේ කරුණු 50ක් ඇතුළත් වන බැවින් ඒ සඳහා එක් දිනයක් ප්‍රමාණවත් නොවන බව විපක්ෂයේ නියෝජිතයන් පෙන්වා දී ඇත.
එමෙන්ම, යෝජනාවේ සඳහන් කරුණු සම්බන්ධයෙන් තාක්ෂණික ගැටලු කිහිපයක් පවතින බව පවසමින් ඒ පිළිබඳ නීතිපතිවරයාගේ උපදෙස් ලබාගත යුතු බව ආණ්ඩු පක්ෂය එහිදී ප්‍රකාශ කර තිබේ.
නීතිපති උපදෙස් ලබාගැනීම සඳහා කාලයක් අවශ්‍ය බැවින්, අදාළ විවාදය ඉදිරි පාර්ලිමේන්තු සතිය තුළ පැවැත්වීමට නොහැකි බව කාරක සභාවේදී තීරණය වී ඇත.
නීතිපතිවරයාගේ උපදෙස් ලැබීමෙන් අනතුරුව කථානායකවරයාට එරෙහි විශ්වාසභංග විවාදය පැවැත්වෙන දිනය තීරණය කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා සඳහන් කර තිබේ.



