
අමෙරිකානු භාණ්ඩාගාරය හා IRS ට එරෙහිව ට්‍රම්ප් නඩු පවරයි
තම පළමු ජනාධිපති ධුර කාලය තුළ බදු වාර්තා අනවසරයෙන් මාධ්‍ය වෙත හෙළි වූ බවට චෝදනා කරමින්, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා අමෙරිකා එක්සත් ජනපද අභ්‍යන්තර ආදායම් සේවාව (IRS) සහ භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇත.
මෙම සිද්ධියට අදාළව ඇමෙරිකානු ඩොලර් බිලියන 10කට වැඩි වන්දි මුදලක් ඉල්ලා නඩුව ගොනු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම නඩුව ඊයේ (29) ෆ්ලොරීඩා ප්‍රාන්තයේ ෆෙඩරල් අධිකරණයකදී භාරදෙන ලදී.
ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා මෙම නඩුව ගොනු කර ඇත්තේ තම පුත්‍රයන් වන ඩොනල්ඩ් ට්‍රම්ප් ජූනියර් සහ එරික් ට්‍රම්ප් සමඟ එක්ව වන අතර, ජනාධිපති ධුරය නියෝජනය කර නොව පුද්ගලික වශයෙන් මෙම නඩුව පවරා ඇති බව සඳහන් වේ.
තම බදු තොරතුරු IRS හි හිටපු කොන්ත්‍රාත්කරුවෙකු වූ චාල්ස් ලිට්ල්ජෝන් විසින් නීතිවිරෝධී ලෙස ලබාගෙන මාධ්‍ය වෙත හෙළි කළ බවට ට්‍රම්ප් මහතා චෝදනා කර ඇත.
මෙම සිදුවීමට සම්බන්ධව, ලිට්ල්ජෝන් සේවය කළ පෞද්ගලික සමාගම සමඟ පැවති ඇමෙරිකානු ඩොලර් මිලියන 21ක ගිවිසුම අමෙරිකානු රජය මීට පෙර අවලංගු කර තිබූ බවද වාර්තා වේ.



