
ශ්‍රී ලංකා – එංගලන්ත පළමු විස්සයි20 තරගය අද
සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත විස්සයි20 තරගාවලිය අද (30) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.
මෙම තරගාවලියේ පළමු තරගය අද රාත්‍රී 7.00ට ආරම්භ වීමට නියමිත අතර, ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර මෙම තරගාවලියට සමස්ත තරග 3ක් ඇතුළත් වේ.
අද පැවැත්වෙන පළමු තරගයට එක්වීමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායම, ඊයේ රාත්‍රියේ පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පුහුණු සැසි ආරම්භ කළ බවද වාර්තා වේ.
පන්දුවාර විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන අවසන් විස්සයි20 තරගාවලිය ලෙසද මෙම තරගාවලිය වැදගත් වේ.
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර මේ දක්වා විස්සයි20 තරග 14ක් පැවැත්වී ඇති අතර, ඒ අතරින් තරග 10ක ජය එංගලන්ත කණ්ඩායම සතු වන අතර, ශ්‍රී ලංකා කණ්ඩායම තරග 4ක් ජයගෙන ඇත.
එසේම, 2014 වසරෙන් පසුව මේ දක්වා ශ්‍රී ලංකා කණ්ඩායමට එංගලන්ත පිලට එරෙහිව විස්සයි20 තරගාවලි ජයක් වාර්තා කිරීමට නොහැකි වී ඇත. එංගලන්ත කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකාව අවසන් වරට විස්සයි20 තරග ජයක් ලබා ඇත්තේද 2014 වසරේදීය.
අවසන් වරට එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වූ තරග 8ටම පරාජයට පත්ව ඇති ශ්‍රී ලංකා කණ්ඩායමට, එම පරාජයන් රැල්ලට තිත තැබීම සඳහා අද පැවැත්වෙන තරගයේ ජය අතිශය වැදගත් වේ.



