
ඉන්දියාවෙන් රු. මිලියන 52ක ක්ෂය රෝග මර්දන ඖෂධ තොගයක්
රුපියල් මිලියන 52ක් පමණ වටිනා ක්ෂය රෝග මර්දන ඖෂධ තොගයක් ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබේ.
අදාළ ඖෂධ තොගය නිල වශයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත භාරදීම අද (07) එම අමාත්‍යාංශ පරිශ්‍රයේදී සිදුකර ඇත.
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා විසින් එම ඖෂධ තොගය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත භාරදී තිබේ.
මෙහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ ක්ෂය රෝගය තවමත් ශ්‍රී ලංකාවෙන් සම්පූර්ණයෙන්ම තුරන් කර නොමැති බවයි.
මේ වනවිට මෙරටින් ක්ෂය රෝගීන් 6,300ක් පමණ හඳුනාගෙන ඇති අතර, සැබෑ රෝගීන් සංඛ්‍යාව 9,000ක් පමණ විය හැකි බවට ඇස්තමේන්තු කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කර ඇත.
හඳුනාගනු ලබන රෝගීන් සඳහා රෝහල් පද්ධතිය හරහා අඛණ්ඩව ඖෂධ ලබාදීමට කටයුතු කරන බවද ඔහු පවසා තිබේ.
මෑතකදී ඖෂධ සැපයුම් ක්‍රියාවලියේ ඇති වූ ගැටලු හේතුවෙන් ඇති වූ ඖෂධ හිඟයට විසඳුමක් ලෙස ශ්‍රී ලංකාව කළ ඉල්ලීමකට අනුව මෙම ඖෂධ තොගය ඉතා කෙටි කාලයක් තුළ ලබාදීමට ඉන්දීය රජය පියවර ගෙන ඇත.
කිලෝග්‍රෑම් 2,600කට ආසන්න බරකින් යුත් මෙම ඖෂධ තොගය ඉන්දියාවේ සෞඛ්‍ය හා පවුල් සුභසාධන අමාත්‍යාංශය හරහා ලබාදී තිබේ.
එම වෛද්‍ය ආධාර තොගය ඉන්දීය ගුවන් හමුදාවට අයත් C-130J විශේෂ ගුවන් යානයකින් පසුගියදා ශ්‍රී ලංකාවට රැගෙන එන ලදී.
සෞඛ්‍ය ක්ෂේත්රයට මෙන්ම ස්වාභාවික විපත් සහ හදිසි අර්බුදවලදී ඉන්දියාව ලබාදෙන සහයෝගය අගය කළ අමාත්‍යවරයා, ඉන්දීය රජයට සහ ජනතාවට සිය කෘතඥතාව පළ කර තිබේ.



