
2025 වැටලීම්වලින් රු. බිලියන 110කට අධික මත්ද්‍රව්‍ය අත්අඩංගුවට – රවී සෙනවිරත්න
2025 වැටලීම්වලින් රු. බිලියන 110කට අධික මත්ද්‍රව්‍ය අත්අඩංගුවට – රවී සෙනවිරත්න
2025 වසර තුළ පොලීසිය හා හමුදාව එක්ව ක්‍රියාත්මක කළ විශේෂ වැටලීම් මාලාවන් මඟින් රුපියල් බිලියන 110 ඉක්මවන වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොග ආරක්ෂක අංශ භාරයට ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහතා පවසයි.
ඔහු සඳහන් කළේ, 2025 වසර සඳහා මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ආයතන සඳහා රුපියල් බිලියන 147ක මුදලක් වෙන් කර ඇති බවයි. එමෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම් හේතුවෙන් රටට විශාල ආර්ථික හා සමාජීය හානි සිදුවන බවද ඔහු අවධාරණය කළේය.
මෙම අනතුර නිසා තරුණ පරපුරේ ජීවිත රැසක් අකාලයේ අහිමි වීමේ අවදානමක් පවතින බවත්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් උපයන ආදායම් රටේ සංවර්ධනයට හෝ ජාතික ප්‍රගතියට කිසිදු දායකත්වයක් නොදක්වන බවත් ඔහු පැවසීය.
දඹුල්ලේ පැවති වැඩසටහනකදී අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කළේ, රට මුහුණ දී ඇති මෙම බිහිසුණු මත්ද්‍රව්‍ය අභියෝගයෙන් සමාජය සහ දරුවන් ආරක්ෂා කිරීම සියලු පාර්ශ්වයන්ගේ පොදු වගකීමක් බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහතා,
“අප රට වෙලා ගත් බිහිසුණු අනතුරක් තියෙනවා. ඒ තමයි මත්ද්‍රව්‍ය. 2025 පොලීසිය, හමුදාව අරන් තියෙන මත්ද්‍රව්‍ය ප්‍රමාණය, එහි මූල්‍ය වටිනාකම රුපියල් බිලියන 110කට අධිකයි. මම ඒ ගමන්ම ඔබට සඳහන් කරන්නම් 2025 වර්ෂයේ මමත් සේවය කරන මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ආයතනවලට අයවැයෙන් වෙන්කරලා තිබෙන මුදල රුපියල් බිලියන 147ක්. ඉතිං ඔබට තේරෙනවා ඇති ඒ හා සමාන මුදලක් මේ මත්ද්‍රව්‍යවලින් අපේ රටට අහිමි වෙනවා. මේ බිලියන 110 මේ රට, මේ රටේ ජනතාව විනාශ කරන්න යොදවනවා මිසක් මේ රටේ සංවර්ධනයට, රටේ ඉදිරි ගමනට දායකවෙන එකක් නෙමෙයි. ඒ නිසා ඔබේ දරුවා මේ මත්ද්‍රව්‍ය රකුසාගෙන් බේරගන්න”



