
ආබාධ සහිත තැනැත්තන්ගේ නව අයිතිවාසිකම් පනත ගැන දීර්ඝ සාකච්ඡාවක්
ආබාධ සහිත තැනැත්තන්ගේ නව අයිතිවාසිකම් පිළිබඳ නව පනත් කෙටුම්පතක් සකස් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී දීර්ඝ සාකච්ඡාවක් පවත්වා තිබේ.
1996 අංක 28 දරන ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත අහෝසි කරමින් නව පනතක් හඳුන්වාදීම සඳහා වන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් එහිදී අවධානය යොමු වී ඇත.
ඒ, ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදය එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
1996 වසරේදී පනත හඳුන්වා දීමෙන් පසුව ගත වූ වසර 30ක පමණ කාලය තුළ ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා නව නීතියක අවශ්‍යතාවය පිළිබඳව අවස්ථා ගණනාවකදී සාකච්ඡා කර ඇති බව සභාපතිවරයා සඳහන් කළේය.
එමෙන්ම, 2006 වසරේදී එළිදැක්වූ ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්රඥප්තිය (UN CRPD) ශ්‍රී ලංකාව විසින් 2016 වසරේදී අපරානුමත කර තිබුණද, එයට අනුකූල වන දේශීය නීති රාමුවක් තවමත් සම්පාදනය කර නොමැති බවද ඔහු පෙන්වා දුන්නේය.
2016 වසරේ සිට විවිධ අවස්ථාවලදී අමාත්‍ය මණ්ඩල තීරණ මත මෙම නව පනත් කෙටුම්පත සකස් කිරීමට කටයුතු කර තිබුණද, එහි මුල් අරමුණු සහ වත්මන් කෙටුම්පත අතර යම් පරස්පරතා පවතින බවද මෙහිදී අනාවරණය විය.
ඒ අනුව අදාළ සියලු පාර්ශ්ව සමඟ පුළුල් ලෙස සාකච්ඡා කර එම ගැටලු විසඳා ගැනීමේ වැදගත්කම සභාපතිවරයා අවධාරණය කළේය.
ආබාධ සහිත තැනැත්තන් සඳහා වන ජාතික සභාවේ සාමාජිකයන්ගෙන් සමන්විත අනුකමිටුවක් විසින් සිය නිරීක්ෂණ ඇතුළත් කර සකස් කළ ආදර්ශ පනත් කෙටුම්පත නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව වෙත යොමු කර තිබේ.
එම දෙපාර්තමේන්තුව විසින් එය සංශෝධනය කර අමාත්‍යාංශය වෙත භාරදී ඇති අතර, අදාළ කෙටුම්පත සම්බන්ධයෙන් ජාතික සභාවේ අදහස් ලබාගැනීමේ ක්‍රියාවලිය මේ වනවිට සිදු කෙරෙමින් පවතින බව අමාත්‍යාංශ නිලධාරීහු පැහැදිලි කළහ.
මීට පෙර නීතිපති දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කර තිබූ නිරීක්ෂණ මෙන්ම මානව හිමිකම් කොමිෂන් සභාවේ නිර්දේශ ඇතුළු විවිධ පාර්ශ්වයන්ගේ අදහස් ද සලකා බලමින් ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය බව මෙහිදී සාකච්ඡා කෙරිණි.
එමෙන්ම, එක්සත් ජාතීන්ගේ ආබාධිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියට (UN CRPD) අනුකූලව ස්වාධීන අධීක්ෂණ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවය පිළිබඳවද දීර්ඝ ලෙස අදහස් හුවමාරු වී ඇත.
නව නීති සහ ප්‍රතිපත්ති සකස් කිරීමේදී “අප නැතුව අපි ගැන තීරණ ගන්න එපා” යන මූලධර්මය අනුව ආබාධ සහිත ප්‍රජාවගේ සෘජු නියෝජනය සහ සහභාගිත්වය සහතික කළ යුතු බව ජාතික සභාවේ නියෝජිතයන් අවධාරණය කළහ.
ආබාධ සහිත තැනැත්තන් සඳහා සුදුසු රැකියා අවස්ථා ලබාදීම, සමාන සේවා කොන්දේසි සහ වැටුප් හිමිකම් තහවුරු කිරීම මෙන්ම රැකියා ස්ථානවල සාධාරණ පහසුකම් සැලසීම සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු විය.
තවද, රාජ්‍ය සේවයේ ආබාධ සහිත තැනැත්තන් සඳහා වෙන්කර ඇති රැකියා කෝටාවට අදාළ ප්‍රතිපත්ති සහ රෙගුලාසි තවදුරටත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවයද සාකච්ඡාවට ලක් විය.
වත්මන් සමාජ හා ආර්ථික තත්ත්වයන්ට මෙන්ම ජාත්‍යන්තර ප්‍රමිතීන්ටද ගැළපෙන පරිදි ආබාධිත ප්‍රජාවගේ අයිතිවාසිකම් තහවුරු කරන තිරසාර නෛතික රාමුවක් කඩිනමින් සකස් කිරීම සඳහා අදාළ සියලු ආයතන අතර එකඟතාවයකට පැමිණීමේ වැදගත්කමද මෙහිදී අවධාරණය කර තිබේ.



