ප්‍රධාන පුවත්

පළාත් පාලන පනත් රැසක් සංශෝධනයට

පළාත් පාලන පනත් සංශෝධනය කිරීමේ කටයුතු අවසන් අදියරට

පළාත් පාලන ක්ෂේත්‍රයට අදාළ ප්‍රධාන පනත් තුනක් සංශෝධනය කිරීමේ කටයුතු මේ වනවිට අවසන් අදියරට පැමිණ ඇති බව පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා පවසයි.

ඒ අනුව මහ නගර සභා ආඥා පනත, නගර සභා ආඥා පනත සහ ප්‍රාදේශීය සභා පනත සංශෝධනය කිරීමට අදාළ කටයුතු සිදුකෙරෙමින් පවතින බව ඔහු සඳහන් කළේය.

මීට අමතරව පළාත් පාලනයට සම්බන්ධ තවත් පනත් 07ක් සංශෝධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

වසර ගණනාවක් පැරණි සහ වර්තමාන අවශ්‍යතාවලට නොගැළපෙන නීතිමය කරුණු හඳුනාගෙන, ඒවා වර්තමානයට ගැළපෙන පරිදි යාවත්කාලීන කිරීම මෙහි අරමුණ වී තිබේ.

නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා මේ බව ප්‍රකාශ කළේ මාතර දිස්ත්‍රික්කයේ මාලිම්බඩ ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ පැවති පළාත් පාලන ආයතන නිලධාරීන් සඳහා වූ විශේෂ වැඩසටහනකට එක්වෙමිනි.

ජනතාවට වඩාත් සමීප රාජ්‍ය පාලන මට්ටමක් ලෙස පළාත් පාලන ආයතන මගින් මේ වනවිට විවිධ මහජන සේවා සහ සංවර්ධන කටයුතු සිදුකරන බව එහිදී අවධාරණය කෙරිණි.

එම කටයුතු ක්‍රියාත්මක කිරීමේදී සභා පරිපාලනය, ප්‍රසම්පාදන කටයුතු සහ නීතිමය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මතුවන ගැටලු හඳුනාගෙන ඒ සඳහා ප්‍රායෝගික හා නීත්‍යානුකූල විසඳුම් ලබාදීමේ අවශ්‍යතාවද මෙහිදී අවධානයට ලක්වී ඇත.

ඒ සඳහා පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගේ සහ නිලධාරීන්ගේ දැනුම, කුසලතා සහ වෘත්තීය හැකියාවන් වර්ධනය කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණක් බව සඳහන් වේ.

සභා රැස්වීම් පැවැත්වීම හා තීරණ ගැනීම, සභා තීරණ ක්‍රියාත්මක කිරීම, කාරක සභා කටයුතු, ප්‍රසම්පාදන ක්‍රියාවලිය මෙන්ම පළාත් පාලන ආයතනවල බලතල හා වගකීම් පිළිබඳවද වැඩමුළුවේදී අවධානය යොමුකර තිබේ.

එමෙන්ම පළාත් පාලන ආයතනවල දෛනික කටයුතු පවත්වාගෙන යාමේදී මතුවන පරිපාලන, නීතිමය සහ ප්‍රායෝගික ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමටද නිලධාරීන්ට අවස්ථාව ලබාදී ඇත.

මෙවැනි වැඩසටහන් හරහා පළාත් පාලන ආයතන අතර සම්බන්ධීකරණය ශක්තිමත් කරමින් මහජන සේවා සැපයීමේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම අපේක්ෂා කෙරේ.

ඒ අනුව පළාත් පාලන ආයතන වඩාත් කාර්යක්ෂම, විනිවිදභාවයෙන් යුත් සහ නීත්‍යානුකූල ආකාරයෙන් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය ප්‍රායෝගික විසඳුම් හඳුනාගැනීමේ අරමුණින් වැඩසටහන් මාලාවක් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් සංවිධාන කර තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button