
2027 අයවැය නොවැම්බර් 12 වැනිදා
2027 අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම නොවැම්බර් 12 වැනිදා සිදුකිරීමට නියමිතව තිබේ.
2027 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම ඔක්තෝබර් 07 වැනිදා පාර්ලිමේන්තුවේදී සිදුකිරීමට නියමිත බව පාර්ලිමේන්තු මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සඳහන් කළාය.
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව පසුගිය 25 වැනිදා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේදී අදාළ කාලසටහන සඳහා අනුමැතිය ලබාදී තිබේ.
ඒ අනුව මුදල් විෂය භාර අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් නොවැම්බර් 12 වැනිදා විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම හෙවත් අයවැය කථාව ඉදිරිපත් කිරීමට නියමිතය.
අයවැය දෙවැනිවර කියවීමේ විවාදය නොවැම්බර් 13 සිට 20 වැනිදා දක්වා දින හතක් පැවැත්වීමට නියමිත අතර, එහි ඡන්ද විමසීම නොවැම්බර් 20 වැනිදා පස්වරු 6.00ට පැවැත්වීමට නියමිතව ඇත.
අනතුරුව කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 21 සිට දෙසැම්බර් 14 වැනිදා දක්වා දින 19ක් පැවැත්වීමට නියමිතය. එහිදී අයවැය තෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 14 වැනිදා පස්වරු 6.00ට පැවැත්වීමට නියමිතව තිබේ.
අයවැය විවාදය පැවැත්වෙන කාලය තුළ රජයේ නිවාඩු සහ ඉරිදා දින හැර සෙනසුරාදා දිනවලද පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.
දෙවැනිවර කියවීමේ විවාදය සඳහා ආණ්ඩු පක්ෂයට 60%ක් සහ විපක්ෂයට 40%ක් ලෙස කාලය වෙන් කිරීමටත්, කාරක සභා අවස්ථාවේ විවාදයේදී ආණ්ඩු පක්ෂයට 40%ක් සහ විපක්ෂයට 60%ක් ලෙස කාලය වෙන් කිරීමටත් තීරණය කර ඇත.



