උණුසුම් පුවත්

කුඩා ගඟ සහ මගුර ගඟට සුළු ගංවතුර අවදානමක්

කුඩා ගඟ සහ මගුර ගඟ ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

කළු ගඟේ කුඩා ගඟ උප ද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබීම හේතුවෙන් මෙම අවදානම මතුව ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ගංගා ජල මාපකවල වාර්තා වන ජල මට්ටම් විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව, ඉදිරි පැය 24ක කාලය තුළ බුලත්සිංහල, මදුරාවල සහ පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත්බිම් ප්‍රදේශවලට මෙම තත්ත්වය බලපෑ හැකි බව දැනුම් දී ඇත.

විශේෂයෙන් කුඩා ගඟ සහ මගුර ගඟේ පිටාර තැන්නට අයත් පහත්බිම් ප්‍රදේශවල සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ හැකියාව පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

එමෙන්ම එම ගංගා ආශ්‍රිත පහත්බිම් හරහා වැටී ඇති අතුරු මාර්ග ජලයෙන් යටවීමේ දැඩි අවදානමක්ද පවතින බව සඳහන් කර තිබේ.

ඒ අනුව, අදාළ ප්‍රදේශවල පදිංචි ජනතාව මෙන්ම එම ප්‍රදේශ හරහා ගමන් කරන රියදුරන්ද පවතින තත්ත්වය සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දී ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button