ප්‍රධාන පුවත්

දුම්රිය වැඩවර්ජනය අතරේ සේවා රැසක් සාමාන්‍ය පරිදි

දුම්රිය වැඩවර්ජනයක් වෘත්තීය සමිති කිහිපයක් විසින් ආරම්භ කර තිබුණද, කාර්යාල දුම්රිය ඇතුළු දුම්රිය සේවා රැසක් සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

දුම්රිය දෙපාර්තමේන්තුවේ ගමනාගමන අධිකාරී අසංක සමරසිංහ මහතා සඳහන් කළේ ඊයේ දිනයේ මෙන්ම අද දිනයේද සියලුම කාර්යාල දුම්රිය සේවා ක්‍රියාත්මක කිරීමට හැකි වූ බවය.

ඒ අනුව සියලු මාර්ගවල කාර්යාල දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුකර ඇති අතර, එම දුම්රිය සේවා අද සවසද නියමිත කාලසටහනට අනුව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

මේ අතර කන්කසන්තුරය සිට කොළඹ බලා ධාවනය කිරීමට නියමිත නගරාන්තර දුම්රියද අද සවස සාමාන්‍ය පරිදි ධාවනය කිරීමට සැලසුම් කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

කන්කසන්තුරය – කොළඹ සහ කොළඹ – කන්කසන්තුරය අතර ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රියද අද සවස ධාවනය කිරීමට සැලසුම් කර ඇති බව අසංක සමරසිංහ මහතා පැවසීය.

කෙසේ වෙතත් දුම්රිය ධාවනයට පෙර මගී ආරක්ෂාව පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන බවද ඔහු සඳහන් කළේය.

ඒ අනුව බදුල්ල – නානුඔය අතර දුම්රිය ධාවනය අද සිදු නොකළ අතර, දුම්රිය ධාවනයට පෙර එම මාර්ගයේ ආරක්ෂාව තහවුරු කර ගැනීමට නොහැකි වීම ඊට හේතුව බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.

එමෙන්ම වැඩවර්ජනය හේතුවෙන් කිසියම් දුම්රිය ස්ථානයක් වසා දමා තිබේ නම්, www.pravesha.lk වෙත පිවිස දුම්රිය ගමන සඳහා අවශ්‍ය ප්‍රවේශපත්‍ර ලබාගත හැකි බවද දුම්රිය දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දුම්රිය දෙපාර්තමේන්තුවේ ගමනාගමන අධිකාරී අසංක සමරසිංහ මහතා මෙසේ පැවසීය.

“අපි උඩරට මාර්ගයේ බදුල්ල – නානුඔය අතර දුම්රිය ධාවනය සිදු කළේ නෑ. සමහරක් දුම්රිය ස්ථාන වහලා මේ වැඩවර්ජනයට සම්බන්ධ අය. එතකොට මේ හැම දුම්රියක්ම ධාවනය කරන්න පෙර අපි මගීන්ගේ ආරක්ෂාව පළවෙනි කොට සලකනවා. ඉතිං යම් තැනක ඒක අපිට තහවුරු කරගන්න බැරිනම් අපි දුම්රිය ධාවනය කරන්නේ ඒ ආරක්ෂාව සහතික කළාට පස්සේ. ඉතිං අපිට බදුල්ල දුම්රිය ධාවනය කරන්න මේ වෙනකන් හැකියාව ලැබුණේ නෑ. ඒ හේතුව හින්දා. අපි මුළින්ම මේ නගරාසන්න කාර්යාල දුම්රිය මගීන්ට ප්‍රමුඛත්වය ලබා දුන්නා. අපි බලාපොරොත්තු වෙනවා අද හවසත් මේ සියලුම දුම්රියන් ධාවනය කරන්න.

අපිට බැරිවුණා මඩකලපුව රාත්‍රි තැපැල් දුම්රිය ධාවනය කරන්න. ඒකත් අරවගේ ආරක්ෂාව තහවුරු කරගන්න. අපිට බලාපොරොත්තුවක් තියෙනවා සහ උත්සාහයක් තියෙනවා අද දිනයේ තැපැල් දුම්රිය ධාවනය කරන්න.

අපේ පළවෙනි අරමුණ තිබ්බේ කොළඹට එන කාර්යාල දුම්රිය. මගීන් පැමිණියේ නැත්නම් මේවා ඇනහිටිනවා. අපිට අවශ්‍ය වුණා කොළඹ නගරාසන්න සේවය සාමාන්‍ය තත්ත්වයට ගේන්න.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button