ප්‍රධාන පුවත්

අධිවේගී මාර්ගයේ ආසන පටි නීතිය හෙට සිට දැඩිව

අධිවේගී මාර්ගයේ ආසන පටි පැළඳීම අනිවාර්ය කිරීමේ නීතිය හෙට (19) සිට දැඩිව ක්‍රියාත්මක කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ.

ඒ අනුව අධිවේගී මාර්ගයේ ගමන් කරන රථ වාහනවල රියදුරන් මෙන්ම සියලුම මගීන්ද ආසන පටි පැළඳ සිටීම අනිවාර්ය වේ.

මෙතෙක් මෙම නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ලබාදී තිබූ වසරකට ආසන්න සහන කාලය අදින් අවසන් වන අතර, හෙට සිට ආසන පටි නොපැළඳ ගමන් කරන රියදුරන් සහ මගීන් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂක කොට්ඨාසයේ අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් රණගල මහතා සඳහන් කළේය.

එමෙන්ම ආසන පටි සවිකර නොමැති රථ වාහන අධිවේගී මාර්ගයට ඇතුළු කිරීමටද හෙට සිට අවසර ලබා නොදෙන බව ඔහු පැවසීය.

පොලීසිය අවධාරණය කරන්නේ රථයක ඉදිරිපස ආසනවල පමණක් නොව පසුපස ආසනවල ගමන් කරන මගීන්ද අනිවාර්යයෙන් ආසන පටි පැළඳිය යුතු බවයි.

ආසන පටි භාවිත නොකිරීම රිය අනතුරකදී සිදුවිය හැකි අවදානම ඉහළ නංවන බැවින් මෙම නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් රණගල මහතා පෙන්වා දී තිබේ.

මෙහි අරමුණ දඩ හෝ වෙනත් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම පමණක් නොව, අධිවේගී මාර්ග භාවිත කරන රියදුරන්ගේ සහ මගීන්ගේ ජීවිත ආරක්ෂා කිරීම බවද ඔහු සඳහන් කළේය.

මේ අතර, ආසන පටි පැළඳීම අනිවාර්ය කිරීමේ නීතිය මීට වසරකට පමණ පෙර හඳුන්වා දී තිබුණද, ඇතැම් පැරණි වාහනවල නිෂ්පාදකයින් විසින් ආසන පටි සවිකර නොතිබීම හේතුවෙන් නීතිය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට සහන කාලයක් ලබාදී තිබුණි.

එම වාහනවලට ආසන පටි සවිකර ගැනීම සඳහා අවස්ථා කිහිපයකදී සහන කාල ලබාදී ඇති අතර, අවසන් වරට ලබාදුන් සහන කාලයද අදින් අවසන් වන බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති මංජුල කුලරත්න මහතා පැවසීය.

ඒ අනුව හෙට සිට ආසන පටි නොමැති වාහනවලට අධිවේගී මාර්ගයට ඇතුළුවීමට ඉඩ ලබා නොදෙන අතර, අධිවේගී මාර්ගයේ ගමන් කරන සියලුම වාහනවල රියදුරන් සහ මගීන් ආසන පටි පැළඳ සිටීම අනිවාර්ය වේ.

මේ සම්බන්ධයෙන් අවශ්‍ය නීති ක්‍රියාත්මක කරන ලෙස පොලීසිය දැනුවත් කර ඇති බවද මංජුල කුලරත්න මහතා සඳහන් කළේය.

තවදුරටත් සහන කාලය දීර්ඝ කිරීමට බලාපොරොත්තු නොවන බවත්, ආසන පටි සවිකර ගැනීම සඳහා වසරකට ආසන්න කාලයක් ලබාදී ඇති බැවින් තවත් සහන කාලයක් අවශ්‍ය නොවන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button