ප්‍රධාන පුවත්

දුම්රිය වර්ජනය ඇරඹෙයි

දුම්රිය වර්ජනය පැය 48ක් ක්‍රියාත්මක කිරීම සඳහා දුම්රිය වෘත්තීය සමිති ඊයේ (16) මධ්‍යම රාත්‍රියේ සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ.

වත්මන් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ධුරයෙන් ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කර ඇති බව වාර්තා වේ.

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා වර්ජනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙලෙස පැවසීය,

“අපේ වර්ජනය ආරම්භ කිරීමට පෙර සාමාන්‍ය සම්ප්‍රදාය මත ඊයේ දුම්රිය ගණනාවක් අවලංගු වෙලා, මගීන් වැඩවර්ජනයට කලින්ම අපහසුතාවයට පත්වෙලා. මෙවැනි කාරණා නිසා තමයි අපි මේ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ඉවත් කරන්න කියන්නේ. අද දිනේ මේ වෙද්දිත් දුම්රිය සාමාන්‍යාධිකාරි සහ විධායක නිලධාරීන් දඟලන්නේ දුම්රිය ධාවනය කරන්න. නමුත් දුම්රිය ආදායම, මගීන්ට අවශ්‍ය පහසුකම් සපයන්න කිසිදු වැඩපිළිවෙලක් සකස් කරලා නෑ. දුම්රිය ස්ථානාධිපතිවරු බහුතරයක් වැඩවර්ජනයට සහභාගී වෙලා තියෙනවා. රජයට හිතවාදී ස්ථානාධිපතිවරු කිහිපදෙනෙක් මේ වැඩවර්ජනය කඩාකප්පල් කරමින්, දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා නැවත තබාගැනීමට අවශ්‍ය කටයුතු සලසනවා. අපි විශ්මිත වෙනවා. මේක දේශපාලන අරමුණකින් නෙමෙයි දෙපාර්තමේන්තුව ගොඩගැනීමේ අරමුණින් ක්‍රියාත්මක වුණ වෘත්තීය සටනක්.”

දුම්රිය වර්ජනය ආරම්භ වීමට පෙරද ඊයේ (16) පස්වරුවේ දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබුණි. එම තත්ත්වය හේතුවෙන් කොටුව දුම්රිය ස්ථානයට පැමිණි මගීන්ට දැඩි අපහසුතාවකට මුහුණදීමට සිදුවිය.

මේ අතර, වෘත්තීය ක්‍රියාමාර්ගය පැවතියද හැකි පරිදි සෑම දුම්රිය මාර්ගයකම දුම්රිය ධාවනය කිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව අද පෙරවරුවේ මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමන්වාර 13ක් ධාවනය කිරීමට සැලසුම් කර තිබේ. හලාවත මාර්ගයේ ගමන්වාර 11ක් ද, ප්‍රධාන මාර්ගයේ සහ උතුරු මාර්ගයේ ගමන්වාර 15ක් ද ධාවනය කිරීමට නියමිතය.

කැලණිවැලි මාර්ගයේ දුම්රිය ගමන්වාර 7ක් ධාවනය කිරීමට සැලසුම් කර ඇති බවද දෙපාර්තමේන්තුව පවසයි.

කෙසේ වෙතත්, වර්ජනය හේතුවෙන් සැලසුම් කර ඇති දුම්රිය ගමන්වාර ප්‍රමාද වීමට හෝ අවලංගු වීමට ඉඩ ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button