ප්‍රධාන පුවත්

එල්නිනෝ බලපෑමට එක්ව මුහුණදෙන්නැයි සජිත් කියයි

එල්නිනෝ බලපෑම මේ වන විට සියයට 100ක සම්භාවිතාවකට පැමිණ ඇති බැවින්, එම තත්ත්වයට මුහුණදීම සඳහා ආණ්ඩුව, විපක්ෂය මෙන්ම ලක්ෂ 220ක් වන සමස්ත ජනතාවම එක්ව කටයුතු කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

දේශගුණික විපර්යාස පිළිබඳ පාර්ලිමේන්තු සංසදය අමතමින් ඔහු පෙන්වා දුන්නේ, එල්නිනෝ තත්ත්වයෙන් ඇතිවිය හැකි බලපෑම්වලට සාර්ථකව මුහුණදීම සඳහා පක්ෂ පාට භේදයකින් තොරව විනිවිදභාවයෙන් යුතු ජාතික කථිකාවතක් ආරම්භ කළ යුතු බවයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ මහාචාර්ය එල්. එම්. අබේවික්‍රම මහතාගේ සම සභාපතීත්වයෙන් ක්‍රියාත්මක වන එම පාර්ලිමේන්තු සංසදය හරහා මේ සම්බන්ධ වැඩසටහන් ආරම්භ කිරීමට කටයුතු කරන බවද ඔහු සඳහන් කළේය.

මිනිස් සම්පත පමණක් නොව, ඡන්ද බලයක් නොමැති සතා සිවුපාවා, වන සම්පත්, පරිසරය සහ ජෛව විවිධත්වය ආරක්ෂා කිරීමද ජාතික ආරක්ෂාවේ ප්‍රධාන ප්‍රමුඛතාවක් ලෙස සැලකිය යුතු බව විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

එවැනි ක්‍රියාමාර්ග වර්තමාන පරපුරේ මෙන්ම අනාගත පරපුරේ පැවැත්ම සඳහාද අතිශය වැදගත් වන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

මේ අතර, මෙරට ආපදා කළමනාකරණ යාන්ත්‍රණය මගින් සිදුකරන සේවය අගය කළ සජිත් ප්‍රේමදාස මහතා, ආපදාවක් ඇති වූ පසුව ප්‍රතිචාර දැක්වීම වෙනුවට ඊට පෙර සූදානම් වී ක්‍රියාත්මක විය හැකි ආපදා ප්‍රතිචාර ක්‍රමවේදයක් රට තුළ ස්ථාපිත කළ යුතු බව පෙන්වා දුන්නේය.

ඒ අනුව ගෝලීය අවදානම් පිළිබඳ දැනුම්දීමක් ලැබුණු වහාම ක්‍රියාත්මක කළ හැකි ක්ෂණික ඉවත්කිරීම් සහ පූර්ව සූදානම් කිරීමේ වැඩපිළිවෙළක් රට තුළ සකස් කිරීමේ අවශ්‍යතාවද ඔහු අවධාරණය කළේය.

එල්නිනෝ සහ ලානීනා තත්ත්වයන් හේතුවෙන් පානීය ජලය, වාරි ජලය, ආහාර හා බලශක්ති ආරක්ෂණතාවට මෙන්ම පරිසරයටද බලපෑම් ඇතිවිය හැකි බැවින් ඒ සඳහා නිසි පෙර සූදානමක් පැවතිය යුතු බවද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

දේශගුණික විපර්යාස පිළිබඳ පාර්ලිමේන්තු සංසදය මසකට දෙවරක් රැස්වෙමින් පරිසරය කේන්ද්‍ර කරගත් කරුණු සඳහා ජාතික න්‍යාය පත්‍රය තුළ ප්‍රමුඛතාව ලබාදීමට කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button