
කුඩු සලිඳුගේ නඩු ගොනු අතුරුදන් – 10කගෙන් ප්‍රකාශ
කුඩු සලිඳුගේ නඩු ගොනු අතුරුදන්
කුඩු සලිඳු හෙවත් සලිඳු මල්සිත ගුණරත්නට එරෙහිව පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩු දෙකට අදාළ නඩු ගොනු අතුරුදන්වීම සම්බන්ධයෙන් අධිකරණ සේවකයන් දසදෙනෙකුගෙන් පොලිසිය ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන් ද සිල්වා මහතා සඳහන් කර ඇත්තේ, ප්‍රකාශ ලබාගත් පිරිස අතර කාන්තා නිලධාරිනියන් හත්දෙනෙකු ද සිටින බවයි.
පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය විසින් නඩු ගොනු අස්ථානගතවීම සම්බන්ධයෙන් පානදුර දකුණ මූලස්ථාන පොලිසියට පෙරේදා (1) කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කර තිබේ.
ඒ අනුව ‘බී’ වාර්තාවක් මගින් සිද්ධිය පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු, පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතී.
අතුරුදන් වී ඇත්තේ ‘කුඩු සලිඳු’ගේ මෙහෙයවීම මත පානදුර උතුර ප්‍රදේශයේ සිදුවූ බව කියන මනුෂ්‍ය ඝාතනයකට අදාළ නඩු ගොනුවක් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මුදල් විශුද්ධිකරණ පනත යටතේ පවරා ඇති නඩුවකට අදාළ ගොනුවක් බව පොලිසිය සඳහන් කරයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෝසමක් මගින් පසුගිය 28 වැනිදා කැඳවා තිබූ නඩුවකට අදාළ වාර්තාව සොයාගැනීමට නොහැකිවීම හේතුවෙන්, එය උපගොනුවක් මගින් යළි 31 වැනිදා කැඳවීමට කල් තබා තිබේ.
ඉන් අනතුරුව සිදුකළ සොයාබැලීමේදී අදාළ නඩු ගොනු දෙක අස්ථානගත වී ඇති බව අනාවරණය වී ඇත.
පොලිසිය සිදුකළ මූලික විමර්ශනවලදී හෙළි වී ඇත්තේ, අදාළ නඩු ගොනුවල පිටපත් ලබාගැනීම සඳහා කාර්යාල කාර්ය සහායකවරයෙකු වෙත භාරදී ලේඛනාගාරගත කර තිබියදී ඒවා අතුරුදන්ව ඇති බවයි.
සිද්ධියට අදාළව ඉදිරියේදී අධිකරණ සංකීර්ණයේ සවිකර ඇති CCTV කැමරා පද්ධතිය ද පරීක්ෂා කිරීමට නියමිතය.
පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන් ද සිල්වා සහ සහකාර පොලිස් අධිකාරි කමල් ජයනෙත්ති යන මහත්වරුන්ගේ උපදෙස් මත විමර්ශන සිදුකෙරේ.
පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රොහාන් විශ්වනාත් සහ පානදුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක උපුල් ප්‍රියංකර නාඋල්ලගේ යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.



