සෞඛ්‍යය

අධි වෝල්ටීයතා රැහැන් අසල සරුංගල් යැවීමෙන් වළකින්නැයි දැනුම්දීමක්

220kV සහ 132kV අධි වෝල්ටීයතා රැහැන් සහිත සම්ප්‍රේෂණ මාර්ග, විදුලි කුළුණු සහ ග්‍රිඩ් උපපොළවල් ආසන්නයේ සරුංගල් යැවීමෙන් වළකින ලෙස ජාතික පද්ධති ක්‍රියාකරු (NSO) ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් NSO සඳහන් කර ඇත්තේ සරුංගල් හෝ ඒවායේ නූල් අධි වෝල්ටීයතා සම්ප්‍රේෂණ මාර්ගවල පැටලීම හේතුවෙන් අවස්ථා කිහිපයකදී එම මාර්ග ක්‍රියා විරහිත වී ඇති බවයි.

එවැනි සිදුවීම් හේතුවෙන් විදුලි දෝෂ ඇතිවිය හැකි අතර, සම්ප්‍රේෂණ මාර්ග ස්වයංක්‍රීයව විසන්ධි වීමේ අවදානමක්ද පවතින බව NSO පෙන්වා දෙයි.

මේ වනවිට සම්ප්‍රේෂණ මාර්ගවල පැටලී ඇති සරුංගල් සහ නූල් ආරක්ෂිත හා පාලිත ක්‍රියාපටිපාටි යටතේ අතින් ඉවත් කිරීමට කටයුතු කරමින් සිටින බවද එම නිවේදනයේ සඳහන් වේ.

මෙවැනි සිදුවීම් ජාතික විදුලි පද්ධතියේ ස්ථායිතාවට සහ ආරක්ෂාවට බරපතළ බලපෑමක් එල්ල කළ හැකි අතර, විදුලි ජනන ඒකක ක්‍රියා විරහිත වීමටද හේතු විය හැකි බව NSO අවධාරණය කරයි.

ඊයේ (02) දිනද සරුංගල් සම්බන්ධ සිදුවීම් හේතුවෙන් ජාතික විදුලි පද්ධතියේ ස්ථායිතාවට බලපෑම් එල්ල වී තිබේ.

පද්ධතියේ ස්ථායිතාව පවත්වා ගැනීම සඳහා හදිසි පියවරක් ලෙස තෝරාගත් විදුලි බෙදාහැරීමේ පෝෂක කිහිපයක් විසන්ධි කිරීමට සිදුව ඇති අතර, ඒ හේතුවෙන් එම පෝෂකවලට සම්බන්ධ ඇතැම් පාරිභෝගිකයන්ගේ විදුලි සැපයුම තාවකාලිකව අත්හිටුවීමට සිදුවූ බවද NSO සඳහන් කරයි.

ඒ අනුව, විදුලි සම්ප්‍රේෂණ මාර්ග සහ කුළුණු ආසන්නයේ සරුංගල් යැවීමෙන් වළකින ලෙසත්, මහජන ආරක්ෂාව මෙන්ම ජාතික විදුලි පද්ධතියේ ස්ථායිතාව ආරක්ෂා කිරීමට සහාය වන ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටී.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button