
ඩිජිටල් රක්ෂණ කාඩ්පත් ගැන පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්
ඩිජිටල් රක්ෂණ කාඩ්පත් සම්බන්ධයෙන් පොලිස්පතිවරයා ලබාදී ඇති උපදෙස් හා මාර්ගෝපදේශ අනුව කටයුතු නොකරමින් රියදුරන් අපහසුතාවට පත් කරන පොලිස් නිලධාරීන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බව පොලීසිය පවසයි.
රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර මහතා මේ බව සඳහන් කළේ අද (03) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
පාදුක්ක සහ ගම්පහ පොලිස් ස්ථානවල නිලධාරීන් කිහිපදෙනෙකු ඩිජිටල් රක්ෂණ කාඩ්පත් පිළිගැනීම ප්‍රතික්ෂේප කරමින් මහජනතාව අපහසුතාවට පත් කළ බවට තොරතුරු ලැබී ඇති බවද ඔහු සඳහන් කළේය.
ඒ අනුව, R.T.M. 93 පනත යටතේ 2026 මැයි 05 වන දින නිකුත් කළ අතිරේක පණිවිඩයක් මගින් රක්ෂණ නියාමන කොමිෂන් සභාව අනුමත කළ මෙරට ප්රමුඛ රක්ෂණ ආයතන 14ක් නිකුත් කරන ඩිජිටල් රක්ෂණ කාඩ්පත් නිල වශයෙන් පිළිගන්නා ලෙස පොලිස්පතිවරයා දිවයිනේ සියලුම පොලිස් ස්ථාන වෙත දැනුම් දී තිබේ.
එමෙන්ම, 2006 අංක 19 දරන විද්‍යුත් ගනුදෙනු පනත අනුව ඩිජිටල් රක්ෂණ කාඩ්පත් සඳහා පූර්ණ නීතිමය පිළිගැනීමක් පවතින බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.
රියදුරෙකු සතුව ඩිජිටල් රක්ෂණ කාඩ්පත නොමැති අවස්ථාවකදී පවා රක්ෂණාවරණය සක්‍රීයව පවතින්නේද යන්න තහවුරු කර ගැනීම සඳහා පොලිස් නිලධාරීන්ට නොමිලේ ක්‍රමවේද කිහිපයක් භාවිත කළ හැකිය.
ඒ අනුව, 1338 අංකයට *1338# හරහා රක්ෂණ අංකය හෝ වාහන අංකය ඇතුළත් කර තොරතුරු ලබාගැනීමට හැකි අතර, 1338 අංකයට SMS පණිවිඩයක් යැවීමෙන් හෝ 1338 ක්ෂණික ඇමතුම් මධ්‍යස්ථානය ඇමතීමෙන්ද රක්ෂණ තොරතුරු තහවුරු කරගත හැකිය.
මේ සම්බන්ධයෙන් දිවයින පුරා පිහිටි පොලිස් ස්ථාන 607ක ස්ථානාධිපතිවරුන් මාර්ගයෙන් සියලුම පහළ නිලධාරීන් යළි දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බවද පොලීසිය සඳහන් කළේය.
කිසියම් පොලිස් නිලධාරියෙකු ඩිජිටල් රක්ෂණ කාඩ්පත පිළිගැනීම ප්‍රතික්ෂේප කරන්නේ නම්, ඒ පිළිබඳව ළඟම පිහිටි පොලිස් ස්ථානාධිපතිවරයාට හෝ රථවාහන මූලස්ථානයේ 070 47 55 600 යන විශේෂ දුරකථන අංකයට පැමිණිලි කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
එවැනි පැමිණිලි සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගනිමින් අදාළ නිලධාරීන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බව නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.



