
පියංකර ජයරත්නට වසර 7ක බරපතළ වැඩ සහිත සිරදඬුවම්
හිටපු සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්න මහතාට වසර 7ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කිරීමට කොළඹ මහාධිකරණය අද (01) නියෝග කළේය.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ගොනුකර තිබූ දූෂණ චෝදනාවකට වරදකරු කිරීමෙන් අනතුරුව මෙම සිරදඬුවම නියම කර තිබේ.
මැයි දින පෙළපාළියට ආහාර ලබාදීමේ සිද්ධිය
2014 වසරේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැයි දින පෙළපාළියට සහභාගි වූ දේශපාලන ආධාරකරුවන් සඳහා ආහාර ලබාදීමේදී සිදුවූ මුදල් ගෙවීමක් සම්බන්ධයෙන් පියංකර ජයරත්න මහතාට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබුණි.
එවකට සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ පියංකර ජයරත්න මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබුණේ ශ්‍රී ලන්කන් කේටරින් සමාගමේ ගිණුමෙන් සිදුකළ මුදල් ගෙවීමක් සම්බන්ධයෙනි.
රුපියල් ලක්ෂ 3.3ක මුදල් ගෙවීමක්
චෝදනාවලට අනුව, රාජ්‍ය සමාගමක් වන ශ්‍රී ලන්කන් කේටරින් සමාගමේ ගිණුමෙන් මාරවිල ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික කේටරින් ආයතනයකට අදාළ ආහාර සැපයීම වෙනුවෙන් රුපියල් තුන්ලක්ෂ තිස්දහසක මුදලක් ගෙවා තිබේ.
එම මුදල ගෙවීමට අදාළව ශ්‍රී ලන්කන් කේටරින් සමාගමේ එවකට විධායක නිලධාරියා පෙළඹවීමට පියංකර ජයරත්න මහතා කටයුතු කළ බවට අධිචෝදනාවල සඳහන් විය.
කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා ඉදිරියේ දීර්ඝ කාලයක් විභාග වූ නඩුවේ තීන්දුව අද (01) ප්‍රකාශයට පත් කරමින් මෙම සිරදඬුවම නියම කර තිබේ.



