ප්‍රධාන පුවත්

එප්පාවෙල ලංකා පොස්පේට් සමාගමේ සංවර්ධනයට රුපියල් මිලියන 110ක නව ආයෝජනයක්

එප්පාවෙල ලංකා පොස්පේට් සමාගමේ නිෂ්පාදන සහ මෙහෙයුම් කටයුතු තවදුරටත් පුළුල් කිරීම සඳහා රුපියල් මිලියන 110ක් වටිනා නව යන්ත්‍රෝපකරණ හා මෙහෙයුම් වාහන එක් කිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව රුපියල් මිලියන 79ක වියදමින් විල් ලෝඩර් යන්ත්‍ර දෙකක්, රුපියල් මිලියන 18ක වියදමින් ටිපර් රථ දෙකක් සහ රුපියල් මිලියන 13ක වියදමින් ෆෝක් ලිෆ්ට් යන්ත්‍ර දෙකක් ආයතනයේ මෙහෙයුම් කටයුතු සඳහා නිල වශයෙන් භාරදී ඇත.

මෙම නව උපකරණ භාරදීමේ උත්සවය කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) පැවැත්විණි.

ආයතනයේ මෙහෙයුම් කටයුතු ශක්තිමත් කිරීමේ අරමුණින් තෝරාගත් නව රියදුරන් සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීමද එහිදී සිදු කර තිබේ.

මේ අතර, පසුගිය මාස 20ක කාලය තුළ එප්පාවෙල ලංකා පොස්පේට් සමාගම සැලකිය යුතු ප්‍රගතියක් අත්කරගෙන ඇති බව සඳහන්ය.

එම කාලසීමාව තුළ රුපියල් මිලියන 76ක වියදමින් නව නිමි භාණ්ඩ ගබඩාවක් ඉදිකර ඇති අතර, අක්‍රියව පැවති ක්‍රසර් යන්ත්‍රය යළි ක්‍රියාත්මක කිරීමටද පියවර ගෙන තිබේ.

එමෙන්ම සමාගමේ නිල වෙබ් අඩවිය සහ Sales Hotline අංකය යළි ක්‍රියාත්මක කිරීම, පාරිභෝගික විශ්වාසය හා විනිවිදභාවය තහවුරු කිරීම සඳහා නිෂ්පාදනවල උපරිම සිල්ලර මිල මුද්‍රණය කිරීම වැනි වැඩසටහන් ද ක්‍රියාත්මක කර ඇත.

තවද, 2026-2030 නව උපායමාර්ගික සැලසුම එළිදැක්වීම, APM තෙල් පොහොර වෙළෙඳපොළට හඳුන්වාදීම සහ ERP Sample සහනදායී මිලට ලබාදීමද සිදු කර ඇති බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button