
මධ්‍ය කඳුකර ආරක්ෂණ අධිකාරියට සියලු බලතල – පනත ළඟදීම පාර්ලිමේන්තුවට
මධ්‍ය කඳුකර ආරක්ෂණ අධිකාරියට සියලු බලතල – පනත ළඟදීම පාර්ලිමේන්තුවට
මධ්‍ය කඳුකර පරිසර පද්ධතිය ආරක්ෂා කිරීම සඳහා මධ්‍ය කඳුකර ආරක්ෂණ අධිකාරිය පිහිටුවීමට අවශ්‍ය පනත මෙම වසර අවසානයේ හෝ ලබන වසර ආරම්භයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
2023 වසරේ බණ්ඩාරවෙල, පූනාගල, කබරගල කන්ද නායයෑම හේතුවෙන් නිවාස අහිමි වූ පවුල් සඳහා ඉදිකළ ‘නවෝදයාපුරම්’ නිවාස යෝජනා ක්‍රමය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර ඇතිව මධ්‍ය කඳුකර ආරක්ෂණ අධිකාරිය ස්ථාපිත කිරීමට කටයුතු කරන බවද ඔහු පැවසීය.
මධ්‍ය කඳුකරය යළිත් පෙර පැවති තත්ත්වයට පත් කිරීම සඳහා දශක ගණනාවක් ගතවිය හැකි වුවද, දැනට සිදුවෙමින් පවතින පරිසර විනාශය වැළැක්වීම සඳහා කඩිනම් පියවර ගැනීම අත්‍යවශ්‍ය බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.
මධ්‍ය කඳුකරය ශ්‍රී ලංකාවේ හදවත බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, එය ජනතාවගේ ඇස් ඉදිරිපිටම විනාශ වෙමින් පවතින බවද සඳහන් කළේය. කඳු කඩා වැටීම්, උල්පත් සිඳී යාම මෙන්ම ගංගා සහ ඇළවේලි ගොඩවීම වැනි තත්ත්වයන් දක්නට ලැබෙන බවද ඔහු පැවසීය.
ඒ අනුව පනත සම්මත කිරීමෙන් අනතුරුව මධ්‍ය කඳුකර ආරක්ෂණ අධිකාරිය වෙත අවශ්‍ය සියලු බලතල ලබාදීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා සඳහන් කළේය.
“අපේ රටේ අනාගතයේ වැදගත් කොටසක් ඔසවන්නේ මධ්‍ය කඳුකරය. අපේ වගකීම අපේ අනාගතයට මධ්‍ය පරිසරය සුරක්ෂිත කිරීම.
මේ වැඩපිළිවෙළේදී නිවාස අහිමි වෙන්න පුළුවන්. වගාබිම් තිබෙන ප්‍රදේශ වනාන්තර වෙන්න පුළුවන්. නමුත් ඒක කරන්න ඕන. නැතුවුණොත් විශාල ව්‍යසනයකට මුහුණදෙනවා.
ආයතනවල බලතල බෙදෙයි, පුටු එහෙට මෙහෙට වෙයි, තනතුරු නාම වෙනස්වෙයි….කවුරුවත් කලබල වෙන්න එපා“.
මලෛයගම් ජනතාවගේ අයිතිවාසිකම් පිළිබඳ අවධානය
මේ අතර මලෛයගම් ජනතාවට මෙරට තුළ සෙසු ජනතාව මෙන්ම පූර්ණ අයිතිය සහිතව ජීවත් වීමට අවශ්‍ය පසුබිම සකස් කරන බවද ජනාධිපතිවරයා පැවසීය.
වතු සමාගම් සමඟ පවතින ගිවිසුම් 2042 වසරේදී අවසන් වීමෙන් පසු ඒවා යළි අලුත් කිරීමේදී මලෛයගම් ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත වන ආකාරයට ගිවිසුම් සකස් කිරීමට අවධානය යොමු කරන බවද ඔහු සඳහන් කළේය.
“ඉඩම් පිළිබඳ විශාල ප්‍රශ්නයක් තිබෙනවා. වත්තේ වැඩ කළාට සමාගම් ලේසියෙන් ඉඩම් දෙන්න කැමති නෑ. නමුත් මෙම සමාගම්වල ගිවිසුම් 2042 වනවිට අවසන්වීමට නියමිතය.
දැනටමත් එම අමාත්‍යාංශය එම ගිවිසුම් පිළිබඳ පසුවිපරම් කිරීම සඳහා කමිටුවක් පත්කර විමර්ශනය කරනවා.
අපි ඉතා ඉක්මනින් ඒ ගිවිසුම් අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා. එහිදී ජනතාවගේ අයිතාවාසිකම් සුරක්ෂිත කිරීම සඳහා වගන්ති සහිතව තමයි එළැඹෙන ගිවිසුම් අත්සන් කිරීමට අපි අවධානය යොමු කරන්නේ” යැයි පැවසීය.
යුද සමයේදී ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට ගිය ජනතාවට යළි මෙරටට පැමිණීමට පැවති බාධා ඉවත් කිරීම සඳහාද කැබිනට් මණ්ඩලය පියවර ගෙන ඇති බව ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.
මලෛයගම් ජනතාවගේ වත්මන් තත්ත්වය සහ ඔවුන්ගේ අනාගතය සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා අදහස් පළ කළේය.
“වර්තමාන රජයේ වගකීම සියලු ජන කණ්ඩායම්වලට අවශ්‍ය මූලික උවමනාවන් ඉටුකිරීම. ඒ සඳහා නිවාස ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක කර තිබෙනවා. එළැඹෙන අයවැයෙන් නිවාස ගොඩනැගීම ප්රමුඛ ලෙස කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා.
එම ජනතාවට හොඳ අදායම් මාර්ගයක් අවශ්‍යයි. එය සම්පූර්ණ කිරීමට බොහෝ ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. දැනටමත් වැටුප් වැඩිකිරීම් සිදුකර තිබෙනවා. එය ප්‍රමාණවත් නොවුණත්, මූලික පියවර ගෙන තිබෙනවා.
දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳ විශාල අවධානයක් යොමු කරනවා. සියවස් ගණනාවක් මේ ප්‍රජාව ගතකළ ජීවිතය තමන්ගේ දරුවන්ට උරුමකර දීම යුක්ති සහගත නෑ.
වත්තේ ඉපදෙනවා, වත්තේ වැඩ කරනවා, වත්තේ මිය යනවා. වත්තෙම පස්වෙනවා. ඒ ජිවිතයෙන් ඔවුන් එළියට ආ යුතුයි. එම ජීවිතයෙන් එළියට ඒමට තිබෙන ප්‍රධානම කාරණය අධ්‍යාපනය.
ඒ වගේම නිරෝගී සම්පන්න ජීවිතයක් වෙනුවෙන් හොඳ සෞඛ්‍ය පහසුකම් ලබාදෙනවා. අඩු බර දරු උපත් වැඩිපුර තිබෙන්නේ මේ මලෛයිගම් ජනතාව තුළ. අවුරුදු 5ට වඩා අඩු මන්දපෝෂණය තියෙන දරුවන් ඉන්නේ කොහෙද, ආයු කාලය අඩු ප්‍රජාවක් ඉන්නේ කෙහෙද….ඒ මේ ජනතාව අතර.
ඒ නිසා සියවස් දෙකකට වැඩි කාලයක් කොන් කරන ලද, ඇස් ඇර ඔවුන් දෙස නොබලන ලද පාලනයන් විසින් මෙම ජනතාව මෙම ව්‍යසනයට ලක්කර තිබෙනවා” යනුවෙන්ද පැවසීය.



