
රජයේ ඖෂධවේදීන් 31 වැනිදා වැඩ වර්ජනයක
රජයේ ඖෂධවේදීන්අ මතර සේවා දීමනා සම්බන්ධයෙන් පවතින ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් අගෝස්තු 31 වැනිදා පෙරවරු 8.00 සිට එක්දින වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබේ.
මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපති අජිත් පී. තිලකරත්න මහතා සඳහන් කළේ, ඖෂධවේදීන්ගේ අධිකාල දීමනා සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුවක් හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.
2026 අගෝස්තු 29 වැනිදා මුල් කරගනිමින් සෞඛ්‍ය ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇති අතර, එමගින් ඖෂධවේදීන්ගේ අධිකාල දීමනාවේ නිල නාමය “අමතර සේවා දීමනා” ලෙස සංශෝධනය කර තිබූ බවද ඔහු පැවසීය.
කෙසේ වෙතත්, පසුව කිසිදු පිළිගත හැකි හේතුවක් ඉදිරිපත් නොකර වෛද්‍ය සේවාව විසින් සිදුකරන ලද බලපෑම් පදනම් කර ගනිමින් එම චක්‍රලේඛය අවලංගු කර ඇති බවට සංගමය චෝදනා කරයි.
අදාළ ගැටලු සම්බන්ධයෙන් මේ දක්වා බලධාරීන්ගෙන් පිළිගත හැකි විසඳුමක් නොලැබී ඇති බවද රජයේ ඖෂධවේදීන්ගේ සංගමය සඳහන් කරයි.
ඒ අනුව අදාළ චක්‍රලේඛය යළි බලාත්මක කරන ලෙස ඉල්ලා සිටින බවත්, එසේ නොකරන්නේ නම් එය බලාත්මක කිරීමට බලධාරීන්ට බලපෑම් කිරීමේ අරමුණින් මෙම එක්දින වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බවත් අජිත් පී. තිලකරත්න මහතා ප්‍රකාශ කළේය.
මේ අතර, මානුෂීය කරුණු සැලකිල්ලට ගනිමින් සියලුම මාතෘ හා ළමා රෝහල්, පිළිකා රෝහල් සහ මානසික සෞඛ්‍ය ආයතන මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇති බවද ඔහු සඳහන් කළේය.
අනෙකුත් සියලුම රෝහල්වල හදිසි සහ අත්‍යවශ්‍ය සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කර ඇති බවද සංගමය පවසයි.
ඒ අනුව අදාළ ආයතන හා රෝහල්වල ප්‍රධාන ඖෂධවේදීන් සම්බන්ධ කර ගනිමින් අවශ්‍ය හදිසි හා අත්‍යවශ්‍ය සේවා ලබාගැනීමට ආයතන ප්‍රධානීන්ට හැකියාව පවතින බවද ඔවුන් වැඩිදුරටත් සඳහන් කරයි.
මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් ජනතාවට සිදුවිය හැකි අපහසුතා අවම කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස අදාළ පාර්ශ්ව වෙත දැනුම් දී ඇති බවද රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපති අජිත් පී. තිලකරත්න මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.



