ප්‍රධාන පුවත්

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් 18 සිට – වෘත්තීය ක්‍රියාමාර්ගයකට සූදානම්

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලබන 18 වැනිදා සිට සෞඛ්‍ය දත්ත වාර්තා කිරීමේ කටයුතුවලින් ඉවත්වීමට තීරණය කර තිබේ. ඔවුන් මුහුණ දෙන ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් රජයෙන් විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලා මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කරන බව සඳහන් වේ.

අද (16) පැවැති මාධ්‍ය හමුවකදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලේකම් ප්‍රභාත් සුගතදාස මහතා මෙම තීරණය පිළිබඳව අදහස් දැක්වීය.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, පසුගිය 11 වැනිදා සංගමය හා බලධාරීන් අතර පැවැති සාකච්ඡාවෙන් අනතුරුව මෙම තීරණය ගත් බවයි.

සෞඛ්‍ය ක්ෂේත්‍රයට බලපාන ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබාදෙන ලෙස සංගමය රජයෙන් ඉල්ලීමක් කර තිබේ.

 

 

“සෞඛ්‍ය නිලධාරි කාර්යාලවල අවශ්‍ය වෛද්‍ය නිලධාරියා නැහැ. සමහරවිට අවශ්‍ය අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් නැහැ. ඒ නිසා මහජනතාවට සේවාවන් සැපයීමේදී අධික බරක් ගැනීමට සිදුවෙලා තියෙනවා.

ඔවුන්ට කළ හැකි සීමාවෙන් එහාට ගිහිල්ලා රාජකාරි කරන්න වෙලා තියෙනවා අනුමත වෛද්‍යවරුන් නැතිවීම නිසා. ඒ වගේම අනුමත වෛද්‍ය නිලධාරින් සංඛ්‍යාව යාවත්කාලීන කරලා නැති නිසා ජනගහනය වැඩිවෙලා තියෙනවා. ඒකට සාපේක්ෂව අනුමත වෛද්‍යවරුන් වැඩිවෙලා නැහැ. 

ඒ වගේම අනෙක් කාර්ය මණ්ඩලවල හිඟයක් තියෙනවා. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල ඉන්නවා මහජන පරීක්ෂකවරු, ඒ වගේම පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්, හෙදියන් මේ අයගේ එකතුවෙන් තමයි මේ සේවාව සපයන්නේ. මේ කාර්ය මණ්ඩලවල හිඟයක් පවතිනවා. මේ අවශ්‍ය සේවාවන් අදටත් සපයන්නේ, ගැටලු රැසක් මැද. 

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාවල යටිතල පහසුකම්වල ගැටලු තියෙනවා. අතහැරලා දාපු කාර්යාල තමයි අදටත් සෞඛ්‍ය නිලධාරී කාර්යාල හැටියට පවත්වන්නේ, තාවකාලික පදනමේ. 

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලවල ප්‍රධානතම ගැටලුව තමයි ක්ෂේත්‍ර රාජකාරිය. නමුත් මේක කරන්න ප්‍රවාහන පහසුකම් දීලා නැහැ. දීලා තියෙන වාහන පණ ගන්වන්න ගියාම ලොකු ගැටලු මතුවෙනවා. ඒ නිසා ඔවුන් සිය පෞද්ගලික වියදමින් තමයි මේවා සඳහා යොමු වෙන්නේ. මේ විදිහට තමයි මේ නිලධාරීන් මේ පද්ධතිය පවත්වාගෙන යන්නේ.

මේ පද්ධතියට ප්‍රධාන වශයෙන් දත්ත සැපයීමෙන් ඉවත්වීමට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් සහ අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් තීරණය කරලා තියෙනවා. මේ දත්ත හරහා තමයි දැනට පවතින තත්ත්වය සම්බන්ධයෙන් විශ්ලේෂණය කරන්නේ. ඉදිරියේදී ගන්නා තීරණ සම්බන්ධයෙන් පුරෝකතනය කරන්නේ. මේක බෝවන සහ බෝ නොවන රෝග සම්බන්ධයෙන් බලපානවා. මේ හරහා තමයි රටේ සෞඛ්‍ය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්නේ. මේ දත්ත ඉතාමත් රටේ සෞඛ්‍ය සම්බන්ධයෙන් වැදගත් සාධකයක්.”

 

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button