ප්‍රධාන පුවත්

ඉකුත් 20වන දින පොලිස් නිෂ්කාශන සහතිකයට අයදුම් කළ අයට දැනුම්දීමක්

2026 අගෝස්තු 20 වැනිදා පොලිස් නිෂ්කාශන සහතිකයක් සඳහා මාර්ගගතව අයදුම් කළ අයදුම්කරුවන්ට නැවත අයදුම් කරන ලෙස පොලිස් මූලස්ථානය දැනුම් දී තිබේ.

එදින පොලිස්  නිෂ්කාශන දත්ත පද්ධතියේ ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් එම දිනයේ ඉදිරිපත් කළ අයදුම්පත් පද්ධතියෙන් ඉවත් වී ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

ඒ අනුව අදාළ අයදුම්කරුවන් නැවත මාර්ගගතව පොලිස් නිෂ්කාශන සහතිකයක් සඳහා අයදුම් කළ යුතු අතර, නව අයදුම්පත සම්බන්ධයෙන් අවශ්‍ය වාර්තා කැඳවීමෙන් පසු සහතිකය නිකුත් කිරීමට හැකියාව පවතින බව දැනුම් දී ඇත.

මේ අතර, පෙර අයදුම්පත සඳහා අයකර තිබූ රුපියල් 5,100ක ගාස්තුව අයදුම්කරු ගෙවීම් කළ කාඩ්පතට නැවත බැර කිරීමට කටයුතු කරන බවද පොලිස් මූලස්ථානය පවසයි.

පොලිස් නිෂ්කාශන සහතික සඳහා අයදුම් කිරීම, වාර්තා කැඳවීම සහ සහතික මුද්‍රණය කිරීම සඳහා භාවිත කරන දත්ත පද්ධතිය අගෝස්තු 20 වැනිදා දහවල් 12.50 සිට අක්‍රියව පැවති අතර, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය දැනුවත් කිරීමෙන් අනතුරුව එය යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව මේ වනවිට පෙර පරිදි පොලිස් නිෂ්කාශන සහතික සඳහා මාර්ගගතව අයදුම්පත් ඉදිරිපත් කළ හැකි බව පොලිස් මූලස්ථානය වැඩිදුරටත් දැනුම් දෙයි.

 

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button