
ජොන්ස්ටන් ප්‍රනාන්දුට ඇප – රුපියල් ලක්ෂ 25ක ශරීර ඇප
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇප මත මුදාහැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (04) නියෝග කළේය.
ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සමඟ අත්අඩංගුවට ගත් පුද්ගලික සමාගමක හිමිකරුවකු වන හේමන්ත ලලිත් ද සිල්වා මහතා ද ඇප මත මුදාහැරීමට අධිකරණය නියෝග කර තිබේ.
අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් මෙම නියෝගය නිකුත් කළේය.
ඒ අනුව සැකකරුවන් දෙදෙනා රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ. එමෙන්ම සැකකරුවන්ගේ විදේශ ගමන් තහනම් කිරීමට ද අධිකරණය නියෝග කර ඇත.
පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ රඟහල සඳහා පුටු මිලදී ගැනීමේදී අවම මිල ගණන් ඉදිරිපත් කළ ආයතනයෙන් එම පුටු මිලදී නොගෙන වෙනත් පුද්ගලික සමාගමකින් මිලදී ගැනීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් මෙම චෝදනා එල්ල වී තිබේ.
එම ක්‍රියාව හරහා රජයට රුපියල් ලක්ෂ 79ක පාඩුවක් සිදුකර දූෂණය නමැති වරද සිදුකිරීම සහ ඊට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් සැකපිට ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු සැකකරුවන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.



