
නේපාලයට ඩොලර් මිලියනයක මානුෂීය ආධාරයක්
නේපාලයට මානුෂීය ආධාර
නේපාලයට බලපෑ හදිසි ජල ගැලීම් හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සැලසීම සඳහා ශ්‍රී ලංකා රජය අමෙරිකානු ඩොලර් මිලියනයක මූල්‍ය ආධාරයක් ලබාදීමට තීරණය කර තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් මත මෙම මූල්‍ය දායකත්වය ලබාදීමට තීරණය කර ඇති අතර, එමගින් ජල ගැලීමෙන් විපතට පත් ජනතාව සඳහා හදිසි සහන සහ අවශ්‍ය මානුෂීය ආධාර ලබාදීමට අපේක්ෂා කෙරේ.
ජල ගැලීම් හේතුවෙන් සිදුව ඇති ජීවිත හානි සහ නේපාල ජනතාව මුහුණදී ඇති පීඩාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සිය බලවත් කනගාටුව පළ කර තිබේ. විපතට පත් පවුල් වෙත ශ්‍රී ලංකා රජයේ සහ ජනතාවගේ සාතිශය සංවේගයද පළ කර ඇත.
ශ්‍රී ලංකාව සහ නේපාලය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාව සිහිපත් කරමින් ජනාධිපතිවරයා අවධාරණය කර ඇත්තේ, මෙම දුෂ්කර අවස්ථාවේදී ශ්‍රී ලංකාව නේපාල ජනතාව සමඟ සිටින බවයි.
මේ අතර, විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා නේපාල විදේශ කටයුතු අමාත්‍ය ශිෂීර් ඛනාල් මහතා සමඟ අද පෙරවරුවේ දුරකථන සංවාදයක නිරත වී තිබේ. එහිදී නේපාලයේ ඇතිවූ විපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ශෝකය, සහයෝගය සහ සහෝදරත්වය පළ කර ඇත.
නේපාලයේ සහන සහ ප්‍රතිසාධන කටයුතු සඳහා ඉදිරියේදී ශ්‍රී ලංකාවට ලබාදිය හැකි තවත් සුදුසු සහයෝගීතා ක්‍රමවේද පිළිබඳවද රජය අවධානය යොමු කරමින් සිටින බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සඳහන් කරයි.



