ප්‍රධාන පුවත්

වැට් ඉන්වොයිස් ආකෘතිය ඔක්තෝබරයේ සිට අනිවාර්ය වේ

සංශෝධිත වැට් ඉන්වොයිස් ආකෘතිය ඔක්තෝබර් 01 වනදා සිට අනිවාර්යයෙන් භාවිතයට ගැනීමට නියමිත බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ සම්බන්ධයෙන් වන අති විශේෂ ගැසට් නිවේදනය ද මේ වනවිට නිකුත් කර තිබේ.

නව වැට් ඉන්වොයිස් ආකෘතිය ජූලි 01 සිට ක්‍රියාත්මක කිරීමට මුලින් සැලසුම් කර තිබුණද, ව්‍යාපාරිකයින්ට සහ බදු ගෙවන්නන්ට අවශ්‍ය පද්ධති සූදානම් කර ගැනීම සඳහා සහන කාලයක් ලබාදීමට පියවර ගෙන ඇත.

ඩිජිටල් බදු එකතු කිරීමේ ක්‍රියාවලිය වඩාත් විධිමත් කිරීම සහ බදු පද්ධතියේ විනිවිදභාවය ඉහළ නැංවීමේ අරමුණින් මෙම නව ඉන්වොයිස් ආකෘතිය පසුගිය මාර්තු 27 වනදා ප්‍රකාශයට පත් කර තිබුණි.

කෙසේවෙතත්, නව ක්‍රමවේදයට අනුකූල වීම සඳහා ආයතනික මට්ටමින් ගිණුම්කරණ හා බිල්පත් මෘදුකාංග පද්ධති යාවත්කාලීන කිරීමට කාලය අවශ්‍ය බවට ව්‍යාපාරිකයින් විසින් ඉල්ලීම් ඉදිරිපත් කර තිබේ.

එම ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් ඔක්තෝබර් 01 වනදා සිට නව ආකෘතියට අනුකූලව කටයුතු කිරීමට අවශ්‍ය පද්ධති සකස් කර ගන්නා ලෙස අදාළ ව්‍යාපාරිකයින්ට දැනුම් දී ඇත.

ව්‍යාජ ඉන්වොයිස් භාවිතය වැළැක්වීම, ගනුදෙනු නිසි වේලාවට නිරීක්ෂණය කිරීමේ හැකියාව වැඩිදියුණු කිරීම සහ බදු කාන්දු වීම අවම කිරීම මෙම නව ක්‍රමවේදයේ ප්‍රධාන අරමුණු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button