
සමුපකාර ව්‍යාපාරය ශක්තිමත් වෙළෙඳ ජාලයක් බවට පත් කළ යුතුයි – ජනපති
ශ්‍රී ලංකාව වැනි සීමිත වෙළෙඳපොළක් තුළ භාණ්ඩ හා සේවාවල මිල පාලනය තරගකාරීත්වයට පමණක් භාරදිය නොහැකි බැවින් ශක්තිමත් රාජ්‍ය මිල පාලන යාන්ත්‍රණයක් අවශ්‍ය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ඒ සඳහා ලංකා සතොස සහ සමුපකාර ව්‍යාපාරය තවදුරටත් ශක්තිමත් කර වෙළෙඳපොළේ ප්‍රධාන කොටස්කරුවන් ලෙස ක්‍රියාත්මක කළ යුතු බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
2026 අයවැය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය කිරීම සහ 2027 පූර්ව අයවැය සාකච්ඡාව වෙනුවෙන් අද (14) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ආයතන 16ක් මගින් ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සහ පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳවද මෙහිදී විමසා බැලිණි.
ගොවීන් වෙනුවෙන් වියළන යන්ත්‍ර 45ක්
ගොවීන්ගේ වී සහ ධාන්‍ය වියළීම සඳහා සහනදායී පදනමක් මත වියළන යන්ත්‍ර ලබාදීමේ වැඩසටහන යටතේ යන්ත්‍ර 45ක් ලබාදීමට කටයුතු සූදානම් කර තිබේ.
ඒ සඳහා අයදුම් කළ ආයතන 65ක් අතරින් ආයතන 45ක් තෝරාගෙන ඇති බවද සාකච්ඡාවේදී අනාවරණය විය.
එමෙන්ම දිවයිනේ පළාත් නවයම ආවරණය වන පරිදි තොග බෙදාහැරීමේ මධ්‍යස්ථාන 9ක් ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතිය පිළිබඳවද අවධානය යොමු වූ අතර කුරුණෑගල සහ මාතර මධ්‍යස්ථානවල ඉදිකිරීම් මේ වනවිට අවසන් කර තිබේ.
සහල් සැකසුම් මධ්‍යස්ථාන සඳහා රු. මිලියන 1,000ක්
2026 අයවැය ප්‍රතිපාදන යටතේ රුපියල් මිලියන 1,000ක වියදමින් ග්‍රාමීය මට්ටමේ සහල් සැකසුම් මධ්‍යස්ථාන ඉදිකිරීමේ ව්‍යාපෘතියේ ප්‍රගතියද මෙහිදී සමාලෝචනය කෙරිණි.
නුවරඑළිය ආර්තාපල් මිලදී ගැනීමේ මධ්‍යස්ථානය සහ මොනරාගල මාංශ බෝග සැකසුම් මධ්‍යස්ථානයේ ඉදිකිරීම් පිළිබඳවද සාකච්ඡා කළ ජනාධිපතිවරයා ලොකු ළූණු සහ බඩඉරිඟු ගොවීන් වෙනුවෙන් නව වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන්නේය.
තරුණයන් වෙනුවෙන් නව සමුපකාර සමිති 34ක්
සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් තරුණ ප්‍රජාව ඉලක්ක කර ක්‍රියාත්මක කරන නිෂ්පාදන සමුපකාර සමිති ව්‍යාපෘතිය යටතේ නව සමිති 34ක් මේ වනවිට ලියාපදිංචි කර තිබේ.
සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව, ලංකා සතොස සහ සමුපකාර ව්‍යාපාරය ශක්තිමත් කර වෙළෙඳපොළ තරගකාරීත්වය ඉහළ නැංවීම සහ පාරිභෝගිකයින්ට ගුණාත්මක සේවාවක් ලබාදීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය.
රට තුළ සමුපකාර, මෙගා කෝප් සිටි සහ කෝප් සිටි 2,100ක් පමණ ක්‍රියාත්මක වන අතර, එම ජාලය හරහා වෙළෙඳපොළ කොටස පුළුල් කර ගැනීම පිළිබඳවද සාකච්ඡා කර තිබේ. කළමනාකරණ දුර්වලතා විසඳීම සඳහා නව පනතක් සම්පාදනය කරමින් පවතින බවද සඳහන් විය.
ත්‍රිපෝෂ සඳහා රු. මිලියන 5,000ක ප්‍රතිපාදන
ත්‍රිපෝෂ නිෂ්පාදන කටයුතු පිළිබඳවද ජනාධිපතිවරයා විමසා බැලූ අතර 2026 අයවැය යටතේ ඒ සඳහා රුපියල් මිලියන 5,000ක ප්‍රතිපාදන වෙන් කර තිබේ.
ත්‍රිපෝෂ නිෂ්පාදනය පැය 24 පුරා ක්‍රියාත්මක වන අතර සියලු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වෙත එය බෙදාහැරීමේ සහ ප්‍රවාහනය කිරීමේ වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක බව මෙහිදී අනාවරණය විය.
ආහාර සුරක්ෂිතතාව සහ ගුණාත්මකභාවය තහවුරු කිරීම වෙනුවෙන් ලංකා ත්‍රිපෝෂ ආයතනයට ජාත්‍යන්තරව පිළිගත් ISO තත්ත්ව සහතිකය හිමිව ඇති බවද සඳහන් කෙරිණි.
විදේශ වෙළෙඳපොළ පුළුල් කිරීමට අවධානය
ඉදිරි ආර්ථික ඉලක්ක සපුරා ගැනීමේදී විදේශ වෙළෙඳපොළ ජය ගැනීම ප්රමුඛ කාර්යයක් බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
ඒ අනුව වාණිජ නිලධාරීන්ගේ අවධානය ජාත්‍යන්තර වෙළෙඳපොළ හඳුනාගැනීම සහ අපනයන ඉලක්ක ඉහළ නැංවීම කෙරෙහි යොමු කළ යුතු බවද ඔහු සඳහන් කළේය.
පාරිභෝගික ආරක්ෂාවට වැඩි අවධානයක්
ආහාරපානවල ප්‍රමිතිය සහ මිල නියාමනය සම්බන්ධයෙන් ජනතාවගෙන් නිරන්තරයෙන් ඉල්ලීම් ලැබෙන බැවින් පාරිභෝගික සේවා අධිකාරිය වඩාත් සක්‍රීයව මැදිහත් විය යුතු බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
එමෙන්ම පොලිතින් භාවිතය අඩු කිරීමේ වැඩසටහන් හරහා එහි භාවිතය මිලියන 26 සිට මිලියන 16 දක්වා අඩු කර ගැනීමට හැකිව ඇති බවද මෙහිදී සඳහන් විය.
සමාගම් ලියාපදිංචි කිරීමේදී පවතින ප්‍රමාදයන් අවම කර දැනට ප්‍රමාද වී ඇති අයදුම්පත් 3,000ක කටයුතු කඩිනමින් අවසන් කරන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් ලබාදී තිබේ.



