ප්‍රධාන පුවත්

මන්නාරමේදී මුදල් විශුද්ධීකරණ චෝදනා මත 66 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට

මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ සැකකාරියක් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය සඳහන් කළේ, ඊයේ (15) සවස් කාලයේදී මන්නාරම ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි. අත්අඩංගුවට ගත් කාන්තාව වයස අවුරුදු 66ක් වන එම ප්‍රදේශයේම පදිංචිකාරියකි.

විමර්ශන අනුව 2019 සිට 2023 දක්වා කාලය තුළ දකුණු ඉන්දියාවෙන් මෙරටට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ පුද්ගලයෙකු එම ක්‍රියාකාරකම් මගින් උපයාගත් මුදල් භාවිතා කර දෙමහල් නිවසක්, කඩකාමර 05කින් සමන්විත ගොඩනැගිල්ලක්, මෝටර් රථයක් සහ රන් පවුම් 360කට ආසන්න රන් භාණ්ඩ ප්‍රමාණයක් ලබාගෙන ඇති බවට පැමිණිල්ලක් ලැබී තිබුණි. එම රන් භාණ්ඩ උකස් කර පසුව විකිණීම් සිදුකර ඇති බවද පැමිණිල්ලෙන් හෙළි වී තිබුණි.

මෙම පැමිණිල්ලට අනුව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් විමර්ශනයක් ආරම්භ කළ අතර පසුව අදාල සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. ඒ අනුව, සැකකරුට අයත් බවට සැලකෙන නිවාස දෙකක් සහ මෝටර් රථය සම්බන්ධයෙන් මන්නාරම මහාධිකරණයේ නඩු පවරා එම දේපළ ක්‍රියාවිරහිත කිරීමේ නියෝග ලබාගෙන ඇති අතර එම නියෝග තහවුරු කර දීර්ඝ කිරීම්ද සිදුකරමින් පවතින බව පොලිසිය සඳහන් කරයි.

මෙම සිද්ධියට සම්බන්ධ රන් භාණ්ඩ පිළිබඳ සිදුකළ දීර්ඝ විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ, සැකකරුගේ බිරිඳගේ මව විසින් මූල්‍ය ආයතන කිහිපයක එම රන් භාණ්ඩ උකස් කර පසුව මන්නාරම ප්‍රදේශයේ රන් භාණ්ඩ අලෙවිසැල් කිහිපයකට ඒවා විකිණීම් සිදුකර ඇති බවයි.

එමෙන්ම, සැකකරු විසින් නීති විරෝධී ක්‍රියාකාරකම් මගින් උපයාගත් රන් භාණ්ඩ බව දැනගෙනම උකස් කිරීම හා විකිණීම සිදුකරමින් මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ ගැණෙන වරදවල් සඳහා ආධාර සහ අනුබල ලබාදීමේ චෝදනා යටතේ සැකකරුගේ බිරිඳගේ මව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතින බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button