
සාගර කාරියවසම්ට ඇප
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා ඇප මත මුදාහැරීමට කඩුවෙල මහෙස්ත්‍රාත් අරුණ බුද්ධදාස මහතා නියෝග කර තිබේ.
අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අද (10) පස්වරුවේ ඔහු කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබූ අතර, එහිදී දෙපාර්ශ්වය විසින් සිය කරුණු ඉදිරිපත් කර ඇත.
අද පස්වරු 4.30ට දෙපාර්ශ්වයේ කරුණු ඉදිරිපත් කිරීම අවසන් වීමෙන් පසුව ඇප නියෝගය ප්‍රකාශයට පත් කිරීම මහේස්ත්‍රාත්වරයා විසින් කල් තබනු ලැබීය.
පැය තුනකට ආසන්න කාලයකට පසුව දෙපාර්ශ්වය ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව පිටු 17කින් සමන්විත ඇප නියෝගය ප්‍රකාශයට පත් කර තිබේ.
ඒ අනුව, සාගර කාරියවසම් මහතා රුපියල් ලක්ෂ 20 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කර ඇති අතර, ඔහුට විදෙස් ගමන් තහනමක්ද පනවා ඇත.
ඇප කොන්දේසි සම්පූර්ණ කිරීමෙන් අනතුරුව සාගර කාරියවසම් මහතා මුදාහැරීමට අධිකරණය නියෝග කර තිබේ.
පසුගිය අගෝස්තු 03 වනදා පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සම්බන්ධයෙන් සාගර කාරියවසම් මහතා සිදුකළ ප්‍රකාශයක් පිළිබඳව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විමර්ශනයක් ආරම්භ කර තිබුණි.
එම විමර්ශනය සම්බන්ධයෙන් කරුණු කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට වාර්තා කර තිබූ අතර, ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අද (10) පෙරවරුවේ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට පැමිණෙන ලෙස සාගර කාරියවසම් මහතාට දැනුම් දී තිබුණි.
ඒ අනුව, අද පෙරවරුවේ එම කාර්යාංශයට පැමිණි සාගර කාරියවසම් මහතාගෙන් ප්‍රකාශයක් ලබාගැනීමෙන් අනතුරුව ඔහුව අත්අඩංගුවට ගෙන තිබූ අතර, පසුව පස්වරුවේ කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇත.
එම අවස්ථාවේදී විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ දේශපාලන පක්ෂ නියෝජිතයින් ඇතුළු පිරිසක්ද අධිකරණ පරිශ්‍රයට පැමිණ සිටියහ.



