ප්‍රධාන පුවත්

මරණීය දණ්ඩනය පිළිගත නොහැකියි – කාදිනල් හිමියන්

කතෝලික සභා ධර්මෝපදේශයේ 2267 වන ඡේදයට අනුව මරණීය දණ්ඩනය පිළිගත නොහැකි බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළව වගකීම් පැහැර හැරීමේ චෝදනාවට හිටපු පොලිස්පතිවරයාට සහ හිටපු ආරක්ෂක ලේකම්වරයාට ලබා දී ඇති මරණ දඬුවම සම්බන්ධයෙන් සිය ස්ථාවරය පැහැදිලි කරමින් උන්වහන්සේ මේ බව සඳහන් කර තිබේ.

මරණ දණ්ඩනය මගින් මානව ගරුත්වය උල්ලංඝනය වන බව කාදිනල් හිමියන් පෙන්වා දී ඇති අතර, ශුද්ධාසනයේ ඉගැන්වීම් අනුව කිසිදු ආකාරයක මරණීය දණ්ඩනයක් පැනවීම සම්බන්ධයෙන් එකඟ විය නොහැකි බවද අවධාරණය කර ඇත.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ තමන් පූර්ණ විශ්වාසය තබන බව කොළඹ අගරදගුරු පදවිය සඳහන් කරයි. අධිකරණ තීරණවලට හෝ ඒ සම්බන්ධයෙන් සිදුවන සාකච්ඡාවලට කිසිදු ආකාරයකින් මැදිහත් වීමට තමන් අපේක්ෂා නොකරන බවද එම පදවිය පෙන්වා දෙයි.

2019 පාස්කු ඉරුදින සිදු වූ බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් මෑතකදී ඇති වී තිබෙන සංවාදාත්මක පරිසරය තුළ, එම ප්‍රහාරවල වින්දිතයින් සමඟ කොළඹ අගරදගුරු පදවිය පූර්ණ සහයෝගයෙන් කටයුතු කරන බවද සඳහන් කර තිබේ.

එම ප්‍රහාරවලට සම්බන්ධ මහ මොළකරු හෝ මහ මොළකරුවන් ඇතුළු සියලු පාර්ශ්ව හෙළි කර ගැනීම සහ රටේ නීතියට අනුව වින්දිතයින්ට යුක්තිය ඉටු කිරීම සඳහා අඛණ්ඩව කටයුතු කිරීම සිය දැඩි අපේක්ෂාව බවද කොළඹ අගරදගුරු පදවිය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button